mount-lavinia-court-fire

ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තුළ අද දහවල් සිදුකළ වෙඩිතැබීම නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට පැමිණි චූදිතයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමක් බව වාර්තාවේ.
අධිකරණයේ නඩුවක් විභාග වන අතරතුර අද දහවල් 1.45 ට පමණ අධිකරණ ශාලාව තුළ  මෙම වෙඩි තැබීම සිදුවූ නමුත් කිසිවෙකුටත් හානියක් සිදුවූයේ නැත.
 අධිකරණ ශාලාව තුළ සිටි නාඳුනන පුද්ගලයෙකු  රිවෝල්වරයකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබු අතර ඒ වනවිට විත්ති කූඩුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඉලක්ක කර තිබූ බව හදුනාගන්නට ලැබී තිබේ.

වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විත්තිකරුවන්,

රණවිරු අධිකාරිය මගින් පැවැත් වූ ලොතරැයි දිනුම් ඇදීමකින් ත්‍රීරෝද රථයක් දිනා ඇති බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 48,500 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස නඩුවට පෙනී සිට තිබුනි.

2017 වසරේ වැල්ලවත්ත පොලිසිය ගොනුකළ නඩුවක් අනුව මෙය විභාග විය.

 ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඉදිරියේ අද මෙම නඩුව විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සිටි නාඳුනන පුද්ගලයා එක්වරම ශාලාව මැදට පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර දෙකක් විත්ති කූඩුවේ සිටි 35 වන වියේ පසු වූ සැකකරුට එල්ල කර ඇති නමුත්, ඒවා වැරදී ගොස් අසල බිත්තියේ වැදී ඇති බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු දන්වා තිබේ.

වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා මත්කුඩු ජාවාරමට අදාළ තොරතුරු පොලිසියට ලබාදෙන අයෙකු බැවින් මෙම නඩුවට අදාළව නොව වෙනත් ප්‍රශ්නයක් මත මෙලෙස වෙඩිතබන්නට ඇතැයි සැක කෙරේ.



 විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන්ද සමඟ පොලිස් සාමාජිකයින් විසි දෙනෙකු පමණ අධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුවූ අතර ඔහු වැරදුණ වෙඩි පහරින් පසු වටේටම වෙඩි තබමින් පළාගිය බව වාර්තාවේ.

අධිකරණයට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමද පොලිසිය සිදුකර තිබූ පසුබිමක මෙලෙස වෙඩි තැබීමට ඔහුට හැකිවූයේ කෙසේද යන්න ගැන විමර්ශනයක් ඇරඹී ඇත.

පළායාමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු වෙඩික්කරු පසුපස ලුහුබැඳ ගොස් ඇති නමුත් ඔහුගෙන් මිදී සැකකරු පළාගොස් තිබෙයි.
මේ සම්බන්ධ පරීක්ෂණ ඇරඹී තිබේ.