kotahena-robbery

කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට ඊයේ (08) දහවල් ආරක්ෂක අංශ ආකාරයට සැරසී පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නිවැසියන්ගෙන් වංචාවක් සම්බන්ධ කට උත්තර ලබාගන්නා ආකාරයක් පෙන්වා පසුව නිවැසියන් බැඳදමා සියලු වටිනා වස්තුව කොල්ලකා පළාගිය සිදුවීමක් වාර්තාවේ.


මහ දවාලේ අත් මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ මෙම  කොල්ලකරුවන් රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ටයිල් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන මෙම නිවෙස් හිමියාගේ නිවසට උදෑසන 11 ට පමණ ප්‍රභු ආරක්ෂක ඇඳුමකට සමාන සුදු පැහැති කමිස සහ කළු කලිසම් වලින් සැරසුන මොවුන් පැමිණෙන අවස්ථාවේ ව්‍යාපාරිකයා නිවසේ සිට නැත.
එක් පුද්ගලයෙක් අතේ මාංචු කුට්ටමක් තිබී ඇති අතර ඒ අවස්ථාවේ දී නිවසේ සිටි නිවෙස් හිමියාගේ බිරිය සහ එම නිවසේ නේවාසිකව සිටින තරුණිය ඇමතූ ඔවුන් තමන් පොලිසියෙන් බවත් වංචාවක් සම්බන්ධව ප්‍රශ්න කිරීමක් සඳහා නිවෙස් හිමියාව අවශ්‍ය බවත් දන්වා ඇත.
එබැවින් නිවෙස් හිමියා ගෙන්නා ගන්නා ලෙස උපදෙස් දී ඇති අතැර බිරිය දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව නිවෙසට ගෙන්වාගෙන තිබේ.

අනතුරුව ඔවුන් එහි රැඳී සිට සැබෑ ලෙසම වංචාවක් සිදුවූ ආකාරයට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ නිවසේ රැඳී සිටිමින් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම අවස්ථාවේ නිවසේ ඇති සියලුම වත්කම් පිළිබඳ තොරතුරුද විමසා සටහන් තබාගන්නා ආකාරයක් පෙන්වා ඇත.

ඉන්පසු පොලිස් වේශයෙන් ආ අය සොරුන් බවට පත්ව ඇත.


නිවසේ නේවාසිකව සිටින තරුණියගේ අත්දෙක රෙදි පටිවලින් බැඳ ඇය සන්තකයේ ජංගම දුරකථන තිබේදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සාලේ පුටුවක හිඳුවා තිබු බව පොලිසිය කියයි.
අනතුරු කොල්ලකරුවෝ දෙදෙනා අඹු සැමි යුවළ කාමරයකට රැගෙන ගොස් තමන් සන්තකේ ගිනි අවි තිබෙන බවට ඒත්තු ගන්වමින් ඔවුන්ට තර්ජනය කර එම කාමරයේ අල්මාරිවල බහා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
නිවෙස් හිමියා කාමරයක දමා සිරකර කාන්තාවන් දෙදෙනාත් බැඳ දමා නිවසේ ඇති රත්තරන් බඩු සහ මුදල් පැහැර ගෙන නිවැසියන්ගේම බෑගයකට දමාගෙන ඔවුන් නික්ම ගොස් ඇති අතර සී.සී.ටී.වී දර්ශනවල මෙම පළායාම සටහන්ව තිබේ.
සුදු පැහැති කාර් රථයක ඩිකියට සොරාගත් වස්තුව පටවාගන්නා මෙම දෙන්නාගේ සහයට රථය පදවන රියදුරු කෙනෙකුද සහය වන අයුරු එහිදී නිරූපණය වෙයි.
සැකකරුවන් සොයා පරීක්ෂණ අරඹා තිබේ.