kotahena-house-robbery

කොටහේන බෙනඩික්ට් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට පොලිස් වෙසින් ඊයේ පැමිණි දෙන්නෙකු මූල්‍ය වංචාවක් ගැන ප්‍රශ්න කරන මුවාවෙන් බිය ගන්වා පසුව නිවසේ සිටි තිදෙනාම ගැටගසා නිවසේ තිබුණ රන් ආභරණ මුදල් ඇතුළු වස්තුව කොල්ලකා පළායාමේ සිදුවීමක් ගැන පරීක්ෂණ ඇරඹූ පොලිසියට පැය 24 ක් යන්නට මත්තෙන් අදාළ සැකකරුවන් අල්ලා ගන්නට හැකියාව ලැබී තිබේ.

ව්‍යාපාරිකයා නිවසේ නොමැති වේලාවක මහ දවාලේ අත් මාංචු යුගලක්ද රැගෙන ප්‍රභූ ආරක්ෂක ඇඳුම් හා සමාන ඇඳුම් ඇඳගෙන ඇතුළු වූ මෙම  කොල්ලකරුවන් ටයිල් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන මෙම නිවෙස් හිමියා කොහිදැයි ප්‍රශ්න කර තිබූ අතර ඔහු නැති නිසා ඔහුට නිවසට ඉක්මනින් එන්න යයි කියා බිරිය ලවා පණිවිඩ යොමු කරවාගෙන තිබුණි. අනතුරුව ව්‍යාපාරික ගෙහිමියා පැමිණි පසු පැය  2 කට වඩා ඔහුගෙන් මුදල් ඉපැයීම් සම්බන්ධ ප්‍රශ්න කර තිබූ අතර නිවසේ සගවා තිබෙන වත්කම් ගැනද විමසා තිබුණි.


මෙලෙස දීර්ඝ විමර්ශනයක්සිදු කිරීමෙන් පසු නිවසේ ඒ අවස්ථාවේ රැදී සිටි ඥාතී තරුණිය හා ව්‍යාපාරික අඹු සැමි යුවළ පුටු වල ගැටගසා අල්මාරියේ හා අනෙක් තැන්වල සගවා තිබූ මුදල් හා ස්වර්ණාභරණ සියල්ල ඇති තැන් නිවැසියන් බියගන්වා  අසාගෙන නිවසේ තිබූ බෑග් එකක ඒවා දමාගෙන පළාගොස් තිබුණි.
ඔවුන් නිවසින් පිටව යන්නේ විශේෂ කලබලයකින් හෝ තොරව බව පොලිසිය සිදු කළ සීසීටීවී විමර්ශනයේදී අනාවරණය විය.
වාහනයේ ඩිකියට ඒවා පටවාගන්නා අතර වාහනයේ සිටි රියදුරෙකුද ඒවා පටවන්නට උදව් දෙයි.

වාර්තාවන ආකාරයට මෙම සොරකමට ලක්වූ නිවසේ වාසය කරන ව්‍යාපාරිකයා ටයිල් සම්බන්ධ ව්‍යාපාරයක් හිමි අයකු වන අතර ඊට අමතරව උණ්ඩියල් ක්‍රමයට මුදල් ගනුදෙනු කරන ව්‍යාපාරයකටද සම්බන්ධය.මේ හේතුවෙන් ඔහුගේ සන්තකයේ නිරන්තරයෙන්ම විශාල වශයෙන් ‘රෙඩි කෑෂ්‘ තිබුණ බව කියැවේ.
ව්‍යාපාරිකයාගේ බිරියද එම කටයුතු වලට දායකවී ඇත අතර ඇගේ හිතමිතුරන්ද ඇතැම් අවශ්‍යතා අනුව උණ්ඩියල් සේවාවන්ට සම්බන්ධවී තිබී ඇත. මේ ඇතැම් යෙහෙළියන් නිරන්තරයෙන් කොටහේනේ පිහිටි නිවසට නිතර ආගිය අතර නිවසේ අය රහසිගත ආකාරයට මුදල් සම්බන්ධ කටයුතු සිදු කරන ආකාරය දැනගෙන තිබී ඇත.


ව්‍යාපාරිකයා ‘ජාවාරමක‘ නිරත අයෙකු ලෙසත් පොලිසියට බය අයෙකු ලෙසත් මේ අය යන එන අතර හදුනාගෙන තිබී ඇති අතර එම දුර්වලතාවය වාසියට ගෙන නිවස කොල්ලකා විශාල වත්කමක් සොයාගන්නට හැකිවනු ඇතැයි මෙම යෙහෙළියන් දෙන්නෙකු කල්පනා කර තිබේ.
ඒ අනුව සැලසුමක් සකස් කර ඇති මෙම කාන්තාවන් දෙන්නා තමන්ට විශ්වාසවන්ත පුද්ගලයන් දෙන්නෙකු පොලිසිය ලෙස අන්දවා මෙම සොරකම සිදුකර තිබෙන බව පොලිසිය මෙතෙක් සිදුකළ පරීක්ෂණ අනුව අනාවරණය වේ.

කඳානෙ පදිංචිකරුවන් වන මෙම කාන්තාවන් දෙන්නාගෙන් එක් කාන්තාවකගේ දරුවෙකුට ඉංග්‍රීසි ටියුෂන් ලබාදෙන ගුරුවරියක ඉතා හිතවත්ව ඇසුරු කරන අතර එම ගුරුවරියගේ සැමියා ඉඩම් සම්බන්ධ බ්‍රෝකර් වැඩ කරන්නෙකි.
මෙම රහසිගත සැලසුම අනුව සොරකම සිදුකරන්නට ඇය ආරාධනා කර ඇත්තේ එකී ඉඩම් බ්‍රෝකර්වරයාටය. ඔහු තමාට හිතවත් ඥාති සොයුරෙකුද රියදුරෙකුද වැඩේට සම්බන්ධ කරගෙන තිබේ.  වාහන, නිවාස හා ඉඩම් සම්බන්ධ බ්‍රොකර් වැඩ කරමින් සිටි මේ අය එක්වරම ප්‍රභූ ආරක්ෂක වෙස් ගන්නේ සැලැසුමට අනුවයි.
‘මෙයාලා උණ්ඩියල් වැඩ කරන හින්දා..පොලිසියට බයයි..කීයටවත් මේක පොලිසියට කියන් නැහැ.. ඒක නිසා බය නැතුව වැඩේට බහින්න‘ යයි මෙම කටයුත්තට අනුබලදුන් එක් කාන්තාවක උපදෙස් ලබාදී ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.


සීසීටීවී පවා ක්‍රියාත්මක නිවසේ කිසිදු වෙස්වළාගැනීමක් නොකර මහදවල් පැමිණ බියසැක නැතිව සොරකමේ යෙදෙන්නේ මේ අනුවය.
ඔවුන් නිවසට පැමිණ ප්‍රශ්න කරන අවස්ථාවේ දිගින් දිගටම උණ්ඩියල් ජාවාරම සම්බන්ධයෙන් විමසා ඇතිඅතර ව්‍යාපාරිකයා බියගන්වා ඇත.මුදල් කොල්ල කා පිරිස පළායාමෙන්පසු සොරුන් අපේක්ෂා කළ පරිදි ව්‍යාපාරිකයා හැසිරුනේ නැත.
සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පැමිණිලි කළ පසුව කොටහේන පොලිසිය පරීක්ෂණ ඇරඹූ අතර ව්‍යාපාරිකයාගේ බිරියගෙන් ලැබුණ හෝඩුවාවන් හා සීසීටීවී සාක්ෂි අනුව ඉතා ඉක්මනින් සොරුන් අත්අඩංගුවට ගන්නට හැකිවී තිබේ.
ඔවුන් නිවසේ තිබී කොල්ලකන ලද මුදල රුපියල් ලක්ෂ 20 ක් පමණ වන අතර ස්වර්ණාභරණ වටිනාකම ලක්ෂ 188 ක් පමණ විය.
කොටහේන පොලිසිය කළ විමර්ශන අනුව සොරාගත් රන් භාණ්ඩ සියල්ල අල්ලාගන්නට හැකිවූ අතර මුදල් ලක්ෂ 5 ක් පමණ වියදම් කිරීමෙන් පසු ඉතිරි ලක්ෂ 15 සොයාගෙන තිබේ.
නිවෙස් හිමි කාන්තාවගේ මිතුරියන් දෙන්නා සහ කොල්ලයට පැමිණි බ්‍රෝකර් වරුන් දෙන්නා අත්අඩංගුවේ පසුවේ.
කොටහේන  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.