kekulu-rice-waist

ඉන්දියාවෙන් ආනයනය කරන ලද රුපියල් කෝටි 60 ක පමණ වටිනාකමකින් යුත් කැකුළු සහල් තොගයක් මහා පරිමාණයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් සිද්ධියට වාරියපොළ ඊනණවත්ත ප්‍රදේශයේදී ඊයේ (04) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.  කැකුළු සහල් මෙට්‍රික් ටොන් 3000කට අධික ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පස්වරු 6.00 සිට ඊයේ අලුයම 5.00 පමණ  දක්වා කරන ලද වැටලීමකදී මෙම සහල් තොගය සොයා ගැනීමට හැකිවූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. කුරුණෑගල ඊතණවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මෙරට ප්‍රසිද්ධ කුකුළු මස් නිෂ්පාදනාගාරයක ඇති සත්ව ආහාර නිෂ්පාදන ඒකකයක තිබී මෙම සහල් තොගය සොයාගෙන ඇත.

මෙම කුකුළු මස් නිෂ්පාදනාගාරයේ කටයුතු පරික්ෂා කර බැලීම සඳහා ගිය අවස්ථාවකදී  රහසිගතව රැගෙන විත් තිබූ සහල් තොගය පිළිබදව අහම්බෙන් මෙන් හෝඩුවාවක් සොයාගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමත්ව ඇත. මෙහි සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් රැගෙන එනවාදැයි පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විමසු අවස්ථාවේදී එහි කළමනාකරු පවසා ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවුරුදු එක හමාරකින් පමණ සහල් ඇටයක්වත්  රැගෙනවිත් නැති බවය.

කළමනාකාරවරයා එසේ පැවසුවද නිලධාරින් පිරිස ඉතා සුපරික්ෂාකාරි ලෙස කළ සොයා බැලීමකදී එම ස්ථානයේ සත්ව ආහාර සැකසීම සඳහා තනා ඇති විශාල බොයිලේරුවක් අසල ඉතා පිරිසුදු කැකුළු සහල් ඇට කීපයක් වැටී තිබෙනු දැක ඇත. එසේ හමු වූ සහල් ඇට පරික්ෂාවට ලක් කිරීමේදී ඒවා අලුත්ම තත්වයේ සහල් ඇට බව අනාවරණය වී ඇති අතර ඒ අනුව කළමනාකාරවරයාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී සත්ව ආහාර නිපදවීම සදහා මහා පරිමාණයෙන් රැගෙන විත් තිබූ කැකුළු සහල් තොගය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරියෙක් කීවේය.

එම වැටලීම කරන විටද කැකුළු සහල් මෙට්‍රික් ටොන් 3000 කට අධික තොගයක් කුකුළු ආහාර නිෂ්පාදනය කිරීම සඳහා විශාල ප්‍රමාණයේ බොයිලේරුවලට දමා තිබූ බවද එම ස්ථානයට රැගෙන විත් තිබූ කිලෝ ග්‍රෑම් 25 බැගින් අඩංගු සහල් මිටි 125 ක තොගයක් ලොරියක තිබී, අත්අඩංගුවට ගත් බවද පාරිභෝගික සේවා  අධිකාරියේ නිලධාරියා සඳහන් කළේය.  මෙම සහල් තොගය ඉන්දියාවේ සිට ආනයනය කර වරායේ සිට කෙළින්ම මෙම කුකුළු මස් නිෂ්පාදනාගාරය වෙත රැගෙන විත් තිබූ බවටද අනාවරණය වී ඇත. රට තුළ විශාල සහල් හිඟයක් පවතින අවස්ථාවක ජනතාවගේ පාරිභෝජනය සඳහා ගෙන්වීමට ලබාදී ඇති අවසරය අවභාවිත කරමින් සත්ව ආහාර නිෂ්පාදනයට මේ ආකාරයට සහල් ආනයනය කරවීම බරපතළ වරදක් බවද පාරිභෝගික සේවා අධිකාරිය කියයි.කුකුළු මස් නිෂ්පාදනාගාරයට මුද්‍රා තබා ඇති අතර අත්අඩංගුවට ගත් සහල් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකාර අසංක නන් එදිරි මහතාගේ මෙහෙයවීමෙන් නලීන් ප්‍රියලාල්, සුරංග ආරියදාස, තුෂාර විජේසේකර, තරංග විමලසේන, සුගත් ජයසූරිය, හිරන්ත ඒකනායක යන විමර්ශන නිලධාරිහු එක්ව මෙම වැටලීම කළහ.


 -පුෂ්පකුමාර ජයරත්න-