kandy-wedding

මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සව කිහිපයක් සඳහා
සහභාගි වූ බව කියන හයසීයක් පමණ වූ පිරිසක් හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය
අංශ පරීක්ෂණ පවත්වයි.

මීට දින කිහිපයකට පෙර එම හෝටලයේ විවාහ මංගල උත්සව තුනක් පවත්වා ඇති අතර එම මංගල උත්සව
තුනට සහභාගි වූ හයසියයක් පමණ වූ පිරිසක්

වමනය, පාචනය සහ උණ රෝගවලින් පෙළීම හේතුවෙන් ඔවුන්ට
රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබේ.

මෙදින මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ පවුලේ සාමාජිකයකුගේ විවාහ උත්සවයක්ද අදාළ
හෝටලයේ පවත්වා ඇති අතර ඔවුන් මධුසමය ගත කිරීම සඳහා විදේශ ගතවීමෙන් අනතුරුව ඔවුන්ට එහිදී
රෝහල්ගත වීමට සිදුවී ඇති බවද කියති.

හෝටලයේ ආහාර ගත් පිරිසට කිසියම් අසාත්මිකතාවක් ඇතිව තිබෙන බවත්, එම හෝටලයේ ජලයෙන් එම
අසාත්මිකතාව ඇති විය හැකි බවට අනුමාන කරන හෙයින් එම හෝටලයේ ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ
සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කළ බවත් ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ ඉහළ
නිලධාරියකු පැවැසීය.

මහනුවර – කමල් සුරවීර