බැසිල් රාජපක්ෂ මූලික ප්‍රශ්න පහක් හඳුනා ගත්තා. ඒ සියලුම ප්‍රශ්න අප සර්වකාලීනව මුහුණ දීපු ප්‍රශ්න. එතුමා මෙම අරගලය මීට වසර කිහිපයකට පෙර දුටුවා.විමල් වීරවංශ මන්ත්‍රිවරයා සන්ධානයක් නිර්මාණය කර අභියෝග කරනවා නම් එය හිස් මුදුනින් පිළිගන්නවා... පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.

පොදුජන පෙරමුණ කැමතියි අභියෝගවලට. මහින්ද සුළඟ ඒ අයගේ පැත්තට හරවා ගැනීමට උත්සාහ කළද මහින්ද සුළඟ හැමුවේ මහින්ද රාජපක්ෂගෙන්.

කට්ටිය දැන් මොනවා කිව්වත් ඔය සියලුම දෙනා ඡන්දය ඉල්ලුවේ පොදුජන පෙරමුණෙන්.



69 ලක්ෂයෙන් ඡන්ද 9000ක් පුළුවන් නම් ලබා ගන්න කියල මම ඔහුට අභියෝග කරනවා. ජනාධිපතිතුමා සමග දැනට සාකච්ඡා කරන පිරිස සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය මුදුන් මල්කඩක් ලෙස සැලකූ රටක් තමයි ලංකාව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ජනතාව ඉහළට ඔසවා තැබූ පක්ෂයක්.

අපේ ජවයට සමාන කිරීමට හැකි ජවයක් සහිත කිසිදු පක්ෂයක් වර්තමාන දේශපාලනයේ නැහැ. පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේදී පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මූලික ප්‍රශ්න පහක් හඳුනා ගත්තා. ඒ සියලුම ප්‍රශ්න අප සර්වකාලීනව මුහුණ දීපු ප්‍රශ්න. එතුමා මෙම අරගලය මීට වසර කිහිපයකට පෙර දුටුවා.

දැන් තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටත් පොදුජන පෙරමුණට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් පක්ෂයක්.



පක්ෂය පිළිබඳව අලුතෙන් තක්සේරු කරන අයට අපි ආරාධනා කරනවා දැන් තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න කියලා. මේක ප්‍රශ්නවලට උත්තර හොයන ආණ්ඩුවක් මිසක් අඩුපාඩු පෙන්වලා බලය ලබා ගන්නා එකක් නොවෙයි අපි.

තවපාරක් රාජපක්ෂවරු ඉලක්ක කරගෙන විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා සේම ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා.’’