kanchana-qr-mahinda

පසුගිය දිනවල පැවති ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ අසාධාරණ තත්වය QR ක්‍රමය හඳුන්වාදීමත් සමග පහව ගොස් ඇති අතර පොලිම් අවමවී ඇත.ඒ දක්වා තෙල් ජාවාරමේ නිරතවූ ත්‍රීරෝද රථ හිමියන් ඇතුළු විවිධ පාර්ශ්ව දැන් ලැබෙන කෝටාවට සීමාවී සිය ජීවිකාව කරගෙන යනු වාර්තාවේ.
මේ නිසා බලශක්ති ඇමති කංචන විජේසේකර ගෙන ආ නව ක්‍රමය ගැන ප්‍රශංසාත්මක සටහන් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට පටන්ගෙන තිබේ. මේ අතරවාරයේ එක්තරා කණ්ඩායමක් මෙම QR ක්‍රමයෙහි සාර්ථකත්වයට අලුත් කතාවක් හදමින් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ දරුණු විවේචනයට ලක්වූ රාජපක්ෂවරුන්ට සුදුහුණු ගෑමට උත්සාහ කර තිබේ.


එහිදී කංචන විජේසේකරට මෙම සංකල්පය ගෙන එන්නට උදව් කළේ රාජපක්ෂවරුන් බවට පෝස්ටු පළවෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් ‘ෆැක්ට් චෙක්‘ කණ්ඩායම් මගින් විමර්ශනයක් සිදු කර ඇති අතර  QR ක්‍රමය සමග රාජපක්ෂවරුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව අනාවරණය කරගෙන තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ
රාජපක්ෂවරුන්ගේ නම් ප්‍රවර්ධනය කරන බවට චෝදනා කරමින් හුවමාරු වන මෙම සටහන් සම්බන්ධයෙන් , තමා විසින් කිසිවිටෙකත් නොකියූ දෙයක්, තමන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.

අමාත්‍යවරයා පවසා සිටියේ, ‘ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය’ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ(ICTA) සමග එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අංශයේ ඉහළම තලයක සිටින සමාගම් 2ක් නියෝජනය කරමින් පුද්ගලයන් 100කට අධික පිරිසක් විසින් නිර්මාණය කළ බවත් ඔවුන්ට මෙහි ස්තූතිය හිමිවිය යුතු බවයි.



අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් ද, නිකුත් කර තිබුණේ මෙලෙසිනි.

Will keep upgrading the system to fulfill the essential requirements. The Credit for the system should go to our developers @icta_srilanka & a team of over 100 individuals representing 2 of the best companies in the SL IT sector, that wishes to remain anonymous to this moment.
    — Kanchana Wijesekera (@kanchana_wij) August 7, 2022


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) මෘදුකාංග නිර්මාණකරණය පිළිබද අංශයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මහතා පැවසුවේ මෙම ඉන්ධන ලබාදීම සදහා වන QR කේත ක්‍රමය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ උපදෙස් මත ICTA ආයතනයේ නායකත්වයෙන්  තොරතුරු තාක්ෂණ ආයතන 2 ක දායකත්වයෙන් රටේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් සති 2 කටත් අඩු ඉතා කෙටි කාලයක් තුළ සකසා අවසන් කරන ලද බවයි. 



ව්‍යාජ ලෙස නිර්මාණය කර පැතිරුණ ෆේස්බුක් පෝස්ටුව පහතින්

 -Kalana Krishantha (Factcrescendo Sri Lanka) සටහන ඇසුරිනි