jaffna-university-rags

යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියා සහිතව නවක වධය ලබාදුන් ජේ‍යෂ්ඨ සිසුන් 18 දෙනකුගේ පන්ති තහනම් කිරීමත් සමඟම දඬුවමට ලක් වූ එක් ශිෂ්‍යයකු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම නිසා  ඔහුව යාපනය තෙලිප්පලෙයි රෝහලට 16දා ඇතුළත් කොට තිබේ.





එම ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගේ කාමරයට ගොස් තමන් දිවි තොර කර ගන්නා බව ප්‍රකාශ කොට ලණුවක ආධාරයෙන් බාල්කයක එල්ලී සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එය දුටු වෙනත් සිසුන් පිරිසක් ලණුව කපා ඔහුව බේරාගෙන රෝහල් ගත කොට තිබේ.

සිසුන් 18 දෙනාට වසරක කාලයක් පන්ති තහනම් කොට ඇති අතර ඔවුන්ට එම කාලය තුළ යාපනය විශ්වවිද්‍යාලය තහනම් ප්‍රදේශයක් බවද දැනුම් දී තිබේ.

නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය හා විනය කමිටුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වන ලද පරීක්ෂණවලින් පසුව සිසුන් 18 දෙනකු එම ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් නවක වධය ලබාදුන් අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන මඟින් සැකකාර සිසුන් හඳුනාගෙන තිබේ. එම ඡායාරූප නවක වධයට සිසුන් ලක්වන අවස්ථාවේදී යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් විසින් ලබාගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන වෙයි.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ