gotabaya-usa-green-card

ජනතා විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ රටින් පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින අතර ඔහුට සම්බන්ධ ඇමරිකානු නීතීඥ කණ්ඩායමක් ඔහුට ‘ග්‍රීන් කාඩ්‘ හරහා නැවත ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා සිටීම වෙනුවෙන් අයදුම් කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
හිටපු ජනපතිවරයාගේ පුතු ලේලිය මෙන්ම බිරියද ඇමරිකානු පුරවැසියන් වන අතර ගෝඨාභය පමණක් එම පුරවැසිභාවයෙන් ඉවත්වූයේ පසුගිය ජනපතිවරණයේ අපේකෂකත්වය වෙනුවෙන් ව්‍යවස්ථානුකූල කොන්දේසියක් සපුරාලීම පිණිසය.
කෙසේ වෙතත් එසේ අත්හල පුරවැසිකම යළි ලබාගැනීම අත්හළ තරම් පහසු කටයුත්තක් නොවන බවද වාර්තාවේ.


ගෝඨාභය රාජපක්ෂ පසුගිය 09 වනදා නිවසින් පළාගොස් දින කිහිපයක් නාවික හමුදා කඳවුරක ගත කර පසුව මාලදිවයිනට පළාගියේය. එම කඳවුරේ සිටි කාලයේදී ඇමරිකානු තානාපති කාර්යාලය හරහා සියපුතු ලේලිය හා මිනිපිරිය සිටින තැන වෙත යාමට වීසා අයදුම් කළත් එම අයදුම ප්‍රතික්ෂේප වූ බව වාර්තා වී තිබුණි.
ඔහු අනතුරුව මාලදිවයිනටත් එතැනින් සිංගප්පූරුවටත් එතැනින් තායිලන්තයටත් සංචාරක වීසා මත ගමන් කරන්නේ නිසි අවසන් ගමනාන්තයක් ගැන අදහසක් නැතිවය.
ඔහුට ව්‍යවස්ථානුකූලව හිටපු ජනපති කෙනෙකුට ලැබෙන නිල නිවසක් ශ්‍රී ලංකාවේදී ලැබෙනු ඇති නමුත් හිටපු සියලු ජනපතිවරුන්ට වඩා වෙනස් ලෙස ජනතා විරෝධයක් මත ඉල්ලා අස්වූ කෙනෙකු වන නිසා ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම තවදුරටත් ප්‍රියමනාප කටයුත්තක් නොවනු ඇතැයි වාර්තාවේ. ආරක්ෂාව හෝ වාසස්ථානය පහසුකම් කෙසේ වෙතත්  ගෞරවය නොලැබීමේ අවාසනාවන්ත තත්වයට ගෝඨාභය ඇදවැටී ඇත.
යළි ඇමරිකාවට ගොස් සිය බිරිඳ සහ පුත්‍රයා සමඟ එහි පදිංචි වීම සඳහා ඇමරිකානු වීසා කාඩ්පතක් ලබා ගැනීමට බලා සිටින බව ඔහුගේ නීතීඥයින්ගේ තොරතුරු අනුව වාර්තාවී තිබේ.

බිරිඳ අයෝමා රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ලබා සිටින නිසා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බැවින්, එක්සත් ජනපදයේ සිටින රාජපක්ෂගේ නීතිඥයින් ග්‍රීන් කාඩ්පත ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පසුගිය මාසයේ සිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
මෙම ක්‍රියා පටිපාටියට අදාළව දැන් කොළඹ සිටින ඔහුගේ නීතීඥයින් අතිරේක ලියකියවිලි සම්පාදනය කර ඇතැයිද වාර්තාවේ.

මේ වන විට සිය බිරිඳ සමඟ තායිලන්තයේ හෝටලයක සිටින හිටපු ජනාධිපතිවරයා අවම වශයෙන් නොවැම්බර් මාසය දක්වා තායිලන්තයේ රැඳී සිටීමේ හැකියාව ඇතත් මූලික සැලසුම අවලංගු කර අගෝස්තු 25 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයිද ඩේලි මිරර් වාර්තා කර තිබේ.
මින් ඉහත ඊයේ ගෝඨාභයගේ ඥාති සොයුරු උදයංග වීරතුංග මාධ්‍ය ඉදිරියේදී මේ බව ආසන්නයට හෙළි කළ අතර ඔහු පැවසුවේ ගෝඨා අයියා එන්නේ 24 ලෙසිනි.
ගෝඨාභය තායිලන්තයේදී නිවසක පදිංචිවී කලක් නිදහසේ සිටින්නට අපේක්ෂා කළ නමුත් අඩුතරමින් එරට බෞද්ධ වන්දනා ස්ථාන නරැඹීමේ අවස්ථාව පවා ලබාදී නැත. ආරක්ෂක හේතුන් මත එය වළක්වා ඇති අතර ඔහුව දිගටම හෝටල් අඩස්සියේ රඳවාතිබේ.



මීට දින දෙකකට පෙර රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන්ගෙන් උපදෙස් ලබාගෙන  මුලින් අපේක්ෂා කළ තායිලන්තයේ පදිංචියට යාමට නිදහස ලබා නොදුන් නිසා මේ මස අගදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දී ඇති රාජ්‍ය නිවසක් සහ ආරක්ෂාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරනු ඇත.