government-service

රාජ්‍ය සේවකයන්ට උසස්වීම් ලබාදීම හා වැටුප් වර්ධක ලබාදීම පැවැත්විය යුතු කාර්යක්‍ෂමතා කඩඉම් විභාග නිසි ලෙස නොපැවැත්වීම නිසා රාජ්‍ය සේකයන් ලක්‍ෂ ගණනකට වැටුප් වර්ධක හා ශ්‍රේණි උසස්වීම් අහිමි වී තිබෙන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.මෙම පිරිසෙන් 5,000කට අධික පිරිසක් සංවර්ධන නිලධාරී සේවය තුළ සේවය කරන පිරිස් බවත්, වසරකට අවස්ථා දෙකකදී මෙම විභාගය පැවැත්විය යුතු වුවත් එය නිසි ලෙස සිදුනොවන අතර, මේ වසරට  අදාළව එක් විභාගයක්වත් පවත්වා නොමැති බවත් එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

පත්වීම ලබාගත් දින සිට වසර තුනක් තුළදී පළමු කාර්යක්‍ෂමතා විභාගය සමත් විය යුතු බවත්, අදාළ කාලය තුළදී අවස්ථා හයකදී විභාගය පැවැත්විය යුතු බවත් ලේකම්වරයා පවසා සිටියේය. මේ නිසා පළමුවර විභාගයට පෙනීසිට අසමත් වන පිරිස් සඳහා හා පළමුවර විභාගයට පෙනීගොසිටින පිරිස්වලට දෙවැනි තුන්වැනි හා හතරවැනි පස්වැනි අවස්ථාවල විභාගයට පෙනීසිට ඉන් සමත් විය හැකි බවත්, එහෙත් වසරකට නියමිත විභාග දෙක මෑතකාලයේදී නිසි ලෙස පවත්වා නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. දෙවැනි ශ්‍රේණියට ඇතුළත් වූ පසු ශ්‍රේණි උසස්වීම ලබාගැනීමට හා වැටුප් වර්ධකය ලබාගැනීම සඳහාත් කඩඉම් විභාගය සමත් විය යුතු බවත්,

පවතින ගැටලුව නිසා අදාළ විභාගය සමත්වීමට විශාල පිරිසකට නොහැකි වී තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියේය. විභාගය පැවැත්වීම කල්ගත වීම හා නිසි ලෙස විභාගය නොපැවැත්වීම බලධාරීන්ගේ වරදින් සිදුවන ක්‍රියාවක් බවත්, මේ නිසා කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය සමත් අසමත්භාවය නොසලකා රාජ්‍ය සේවකයන්ට හිමි උසස්වීම හා වැටුප් වර්ධක ලබාදිය යුතු බවත් හෙතෙම පැවසීය.
(එච්.අයි. තුෂාර)