gotabaya-thailand

මහජන විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ  දිවයිනෙන් පලා යාමෙන් පසු බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,  තාවකාලික නවාතැන් පතා බ්‍රහස්පතින්දා තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය අද දහවල් වාර්තා කර තිබේ.
දශක හතකට පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දහස් ගණන් විරෝධතාකරුවන් ජනාධිපති නිල නිවසට සහ කාර්යාලයට කඩා වැදීමෙන්  පෙර නොවූ විරූ නොසන්සුන්තාවකින් පසුව, ගෝඨාභය රාජපක්ෂ ජූලි 14 දා මාලදිවයින හරහා සිංගප්පූරුවට පලා ගියේය.
ඉන්පසුව ඔහු එහි සිට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, ඉල්ලා අස් වූ පළමු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බවට පත් විය.



සිංගප්පූරුවේ ඔහුට දින 30 ක උපරිමයක කාලයක් රැඳී සිටිය හැකි අතර අවස්ථා දෙකකදී වීසා ලබාගෙන සති 4 ක කාලයක් දක්වා එම වීසා වලංගු කරගෙන තිබුණි. එය කල් ඉකුත් වන්නට නියමිත හෙට දිනටයි.
හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව ගුවන් තොටුපළ ඇසුරින් ආරංචි මාර්ග දෙකක් ඔස්සේ රොයිටර් වාර්තා කරන අතර ඔවුන් ප්‍රකාශ කළේ නම් නොකිරීමට ඉල්ලා සිටි ප්‍රකාශකයින් එය තහවුරු කළ බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ ගැන තවම ප්‍රතිචාර දැක්වූයේ නැත.

තායි රජයේ ප්‍රකාශිකා රචඩා තනාදිරෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ “කිසිදු අදහසක් කිව නොහැකිය” යනුවෙනි.

රාජපක්ෂ ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු කිසිදු ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් කර නොමැති අතර සිංගප්පූරු රජය මේ මාසයේ කියා සිටියේ නගර රාජ්‍යය ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා දී නොමැති බවයි.

රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වන රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති ගෝඨාභය නුදුරු අනාගතයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වැළකිය යුතු බව මීට පෙර පෙන්වා දී ඇත.
ජූලි 31දා වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ පැවසුවේ, "ඔහු නැවත පැමිණීමට කාලය මෙය බව මම විශ්වාස නොකරමි." යනුවෙනි.
රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කළහොත් ඔහුට නීතිය යටතේ ආරක්ෂාවක් නොලැබෙනු ඇතැයි නීති විශාරදයෝ පවසති.