gotabaya-stay-inside-thailand-hotel

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බ්‍රහස්පතින්දා සවස තායිලන්තයේ බැංකොක් වෙත ගමන් කර ඇතත් ඔහුගේ ගමනට පෙරාතුව හා පසුව සිදුවීම් සැලකිල්ලට ගෙන ඔහුගේ ආරක්සාව තකා නිර්නාමික හෝටලයෙන් පිට නොයවා ආරක්ෂා සහිතව රඳවා සිටින බව බැංකොක් පොස්ට් පුවත්පත සිය වෙබ් අඩවිය ඔස්සේ සිකුරාදා සවස වාර්තා කර තිබේ.
එහි සඳහන් අන්දමට ගෝඨාභය පුද්ගලික කුලී ගුවන් යානයකින් සිංගප්පූරුවේ සිට තායිලන්තයේ ​ෆුකෙට් වෙත පැමිණීමට මුලදී සැලසුම් කළද ඔහුට එරෙහිව විරෝධතාවන් හෝ යම් බාධාකාරීතත්වයක් වාර්තාවීම නිසා ඔහුගේ ගමනාන්තය වෙනස් කර ඇති අතර බ්‍රහස්පතින්දා ඔහු ෆුකෙට් වෙනුවට දොන් මුවාන්ග් වෙත හරවා ගොස් ගොඩබස්වා තිබේ.
අනතුරුව එරට ආරක්ෂක නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ඔහු බැංකොක් නගරයේ නම සඳහන් නොකළ හෝටලයකට කැටුව ගොස් ඇත.

මෙම හෝටලයේ ගෝඨාභය රාජපක්ෂ දින 90ක කාලය ගෙවා දැමිය යුතු අතර එහි රැඳී සිටියදී ඔහුට උපදෙස් ලබාදී ඇති එරට බලධාරීන් කිසිම හේතුවක් මත හෝටලයෙන් පිටතට නොයන ලෙස දන්වා ඇත.
මේ හේතුවෙන් රැකවල් මැද ඔහු නම් නොකළ හෝටලයේ අඩස්සියේ රැඳී සිටින බව බැංකොක් පෝස්ට් වාර්තාවේ දැක්වේ.
 ඔහුගේ ගුවන් යානය බැංකොක් වෙත පැමිණීමෙන් පසු මෝටර් රථයකට ඇතුළු වීමට සූදානම් වූ අවස්ථාවේ පමණක් රොයිටර් නිල ඡායාරූප ශිල්පියාගේ කැමරාවට ගෝඨාභය හා බිරිය නිරාවරණය වූ අතර ජුලි 9 වනදා ශ්‍රී ලංකාවෙන් පළායාමෙන් පසු මාලදිවයිනේදී හෝ සිංගප්පූරුවේදී ඔහුව කිසිදු ඡායාරූපයකට නොනැගී පළමුවරට තුන්වැනි රටේදී ඡායාරූපයකට හසුවීම විශේෂිතය.
 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින බවත් ඔහු සුරක්ෂිත බවත් බැංකොක් පොස්ට් වාර්තාවේ වැඩිදුර දැක්වේ. ආරක්ෂක හේතූන් මත පිටව නොයන ලෙස පොලිසිය ඔහුට උපදෙස් දුන් බව සිකුරාදා ආරක්ෂක මූලාශ්‍ර ඇසුරින් ඔවුන් වාර්තා කර තිබෙයි.

රාජපක්ෂ මහතා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සිංගප්පූරුවේ සිට පුද්ගලික කුලී ගුවන් යානයකින් බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට පමණ Don Mueang ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ
 කණ්ඩායම ෆුකෙට් වෙත ගොඩ බැසීමට තිබූ සැලසුම් වෙනස් කරමිනි. තොරතුරු කාන්දු වීම පිළිබඳ කනස්සල්ල හේතුවෙන් විරෝධතා මතුවේ යයි සැකයට ගුවන් යානය බැංකොක් වෙත හරවා යැවීමට හේතු විය. බැංකොක් පැමිණි විට තායිලන්ත පොලිසිය සහ හමුදා නිලධාරීන් විසින් ඔහු කැටුව යන ලදී. ස්ථානය හෙළි නොකළ හෝටලයේ ආරක්‍ෂාව සඳහා විශේෂ ශාඛා කාර්යාංශයේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇත. හිටපු නායකයාට තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ හෝටලය තුළම රැඳී සිටින ලෙස නිලධාරීන් දන්වා ඇත.

අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා බදාදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ රාජපක්ෂ මහතාට මානුෂීය හේතූන් මත තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන නමුත් ඔහු රැඳී සිටින කාලය තුළ අප්‍රකටව සිටීමට උපදෙස් දෙන බවයි. විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇති බැවින් ඔහුට දින 90 ක් දක්වා රැඳී සිටිය හැකි බවයි.



ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායමක් පසුගිය මාසයේ සිංගප්පූරුවේ නිල වශයෙන් ඉල්ලා සිටියේ 2009 වසරේ අවසන් වූ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධයේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන ලෙසයි.සිංගප්පූරුවෙන් පිටව ගිය පසුත් එම ඉල්ලීම තායිලන්තයට ඔවුන් යොමු කරනු ඇතැයි එරට රජය අවධානයෙන් පසුවන බව වාර්තාවේ දැක්වේ.