colombo-7-gem-theft

කොළඹ 07 කුරුඳුවත්ත ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් කෝටි 16 ක් පමණ වටිනා මැණික් ගල් සහිත සේප්පුවක් සොරාගැනීමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය.
මේ සම්බන්ධයෙන් , එම ආයතනයේ හිටපු රියැදුරකු ඇතුළු දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තොටළඟ ප්‍රදේශයේදී පසුගිය 30 වනදා  අත්අඩංගුවට ගෙන තිබුණි. 
මෙම රියැදුරු මීට මාස 6කට  පමණ පෙර එම ආයතනයෙන් ඉවත් වු  සේවකයකු බවත්, ඔහු මෙම කොල්ලයේ  ප්‍රධාන සැකකරු බවත් පොලිසිය පවසයි. සැකකරුවන් ළග තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 385 ක ප්‍රමාණයක්  ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. චීන ජාතික කාන්තාවක සහ මෙරට  පුද්ගලයන් දෙදෙනකු එක්ව මෙම ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු එම ආයතනයේ රැකියාව කරන කාලයේ එහි ප්‍රධාන දොරටුවේ යතුරු ව්‍යාජ ලෙස කපාගෙන ඇති බවත්,

එය උපයෝගි කරගෙන මෙම සොරකම සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයන් 6  දෙනෙකුද සමග වෑන් රථයකින් ඉකුත් 7 වැනිදා උදේ මෙම ස්ථානයට පැමිණ ව්‍යජ යතුර උපයෝගි කරගෙන එහි ප්‍රධාන දොරටුව විවෘත කරගෙන මැණික් හා රන්බඩු තැත් කර තිබූ සේප්පුව රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි. මෙම සොරකම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය පරික්ෂණ ආරම්භ කර ඇත.

මීට මාස 6 කට පමණ පෙර සේවයෙන් ඉවත් වූ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන්  තොරතුරු සොයා පොලිසිය ඔහු  පදිංචි ඌව පරණගම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ සිදුකර ඇති අතර මෙම සොරකම සදහා භාවිත කර ඇත්තේ ඌව පරණගම ප්‍රදේශයේ ලියාපදිංචි වෑන් රථයක් බවට ද පොලිසිය එහිදී තොරතුරු හෙළිකරගෙන තිබේ. පොලිස් නිලධාරින් එම ප්‍රදේශයට ගොස් පරික්ෂණ කිරීමේ දී ප්‍රධාන සැකකරු මෙම වෑන් රථයෙන්ම තවත් පුද්ගලයකු සමග කොළඹට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වූ බවත්,

ප්‍රධාන සැකකරු හා අනෙක් පුද්ගලයා වෑන් රථයද සමග තොටළඟ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.ප්‍රධාන සැකකරු සහ අනෙක් සැකකරු මත්කුඩු මිලදී ගැනීමට තොටළග ප්‍රදේශයට එම වෑන් රථයෙන්ම පැමිණ සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු ළග තිබී සොරාගත් මැණික්වලින් මැණික් ගල් 16  ක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත. ව්‍යාපාරික ස්ථානයෙන් සොයාගත් මැණික් ගල් සහිත සේප්පුව  ඌව පරණගම ප්‍රදේශයට රැගෙන ගොස් ග්‍රයින්ඩරයකින් කපා එහි තිබූ රත්තරන්  සහ මැණික් ගල් තොගය ලබාගත් බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇතැයි පොලිසිය කියයි. සොරකමට අදාළ සියලුම තොරතුරු සැකකරුවන්ගෙන්  අනාවරණය වී ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන්,  සහ සොරාගත් සේප්පුවේ තිබූ අනෙක් මැණික් ගල් තොගය හා රත්තරන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.සැකකරුවන් දෙදෙනා මත්කුඩුවලට තදින්ම ඇම්බැහිව  සිටින්නන් බවද පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


-ඉන්දිකා රාමනායක -