building-approve

පළාත් පාලන බල ප්‍රදේශවල ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය විසින් තීරණය කර තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 337කම මේ ක්‍රමය හඳුන්වා දෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඉදිරී මාස දෙක තුළ එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (29දා) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සැලසුම් අනුමත කිරීමේදී පළාත් පාලන ආයතන මට්ටමින් ඇති වී තිබෙන ගැටලු විසඳාගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි. පළාත් පාලන ආයතනවල සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අනුමත කරවාගැනීමේදී විවිධ ප්‍රමාදයන් සිදු වන බවට පළාත් පාලන ආයතන ප්‍රධානීහු මෙහිදී සඳහන් කළහ. ඇතැම් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලටම ලිපිගොනු ගෙන්වාගැනීමට කටයුතු කරන බවත්, පළාත් පාලන ආයතනවල සැලසුම් අනුමත කිරීමේ කමිටුවට අදාළ නිලධාරීන් සහභාගි නොවන බවත් මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ. එවැනි නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරීන්ට උපදෙස් දුන්නේය. සැලසුම් කමිටුවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහභාගි වීම අනිවාර්ය කිරීමටද මෙහිදී තීරණය කෙරුණි.

ගොඩනැඟිලි ඉදිකිරීමට අනුමැතිය ලබාගැනීමේදී වර්ග අඩි 9000ට අඩු ඉඩම් සඳහා අනුමැතිය ලබාදීම අදාළ පළාත් පාලන ආයතනයට පැවරෙන අතර, ඉඩම වර්ග අඩි 9000ට වැඩි නම් හෝ ගොඩනැගිල්ල තටු 05ට වැඩි නම් ඊට අනුමැතිය ලබාදීමේ වගකීම ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි.