bread-price-hike

දිනපතා ඉහළ යන තිරිඟු පිටි මිල අද (29) දා දින සිට දින 03ක් තුළ පාලනය නොකළහොත් පාන් ගෙඩියක මිල රුපියල් 60කින් හා බනිස්, මාලුපාන් වැනි තිරිඟු පිටි ආශ්‍රිත කෙටි ආහාරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙරටට අවශ තිරිඟු පිටි සමාගම් 02ක් විසින් සැපයූ බවත්, එහෙත් පවතින ඩොලර් අර්බුදය නිසා අදාළ සමාගම් විසින් වෙළෙඳ පොළට නිකුත් කළ තිරිඟු පිටි ප්‍රමාණය 50%ක් දක්වා අඩු වූ බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය. 

මේ අනුව රුපියල් 200කට අඩුවෙන් අලෙවි වූ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 270ක් දක්වා ඉහළ ගිය බවත්, එහිදී පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වින්දේශවලින් තිරිඟු පිටි ගෙන්වා අඩු මුදලට අලෙවි කිර්මට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදුන් බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ අනුව අදාළ ව්‍යාපාරිකයන් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 200කට ආසන්න මුදලකට විදේශවලින් ගෙන්වා පසුගිය දිනවල සමාගම් විසින් ලබාදුන් මිලටම ලබාදුන් බවත්, එහෙත් මේ වන විට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 350ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කරමින් තිබෙන බවත්, වෙළෙඳ පොළේ තිරිගු පිටි හිඟයක් පවතින නිසා

මෙම මුදලට. තිරිඟු පිටි මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. මෙම මුදලට තිරිඟු පිටි මිලදී ගෙන නිෂ්පාදන කටයුතු සිදු කළහොත් දැනට

රුපියල් 190කට ලබාදෙන ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 250ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවත්, මීට සාපේක්ෂව සියලුම පාන් වර්ගවල මිල දැනට පවතින මිලේ සිට රුපියල් 60කින් ඉහළ යන බවත් ජයවර්ධන මහතා පවසා සිටියේය.

මීට අමතරව සාමාන්‍ය බනිස් ගෙඩියක මිල රුපියල් 70ක් බවත්, එම වර්ගයේ බනිස් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවත්, මීට සාපේක්ෂව දැනට අලෙවි කරන සියලුම කෙටි කෑමවල මිල රුපියල් 30කින් ඉහළ දැමීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය. පවතින තත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ලිඛිතව දැනුවත් කළ බවත්, ඉදිරී දින තුන තුළ අදාළ ගැටලුවට විසඳුම් නොලැබුණහොත් මෙම නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවත් හෙතෙම පවසා සිටියේය. සමාගම් 02 විසින් මෙරටට තිරිඟු ඇට ගෙන්වා තිරිඟු පිටි බවට පත්කර අලෙවි කළ බවත්, එහෙත් පවතින ඩොලර් හිඟය නිසා තිරිඟු ඇට ගෙවීම් සීමා කර තිබෙන බවත්, මේ නිසා අදාළ සමාගම්වලට අවශ්‍ය ඩොලර් ලබාදී තිරිඟු පිටි සඳහා පාලන මිලක් නියම කළ යුතු බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය. මීට පෙර තිරිඟු පිටි සඳහා පාලන මිලක් නියම කර තිබුණත් මේ වන විට පාලන මිල ඉවත් කර තිබෙන බවත්, මේ නිසා සෘජුව රට තුළට තිරිඟු පිටි ගෙන්වන ව්‍යාපාරිකයන් දිනපතා තිරිඟු පිටි මිල ඉහළ දමමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේස්ය. අදාළ සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50ක බෑගයක් රුපියල් 13,500කට අලෙවි කර බවත්, එහෙත් විදේශවලින් තිරිඟු පිටි ගෙන්වන පිරිස් තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50ක බෑගයක් රුපියල් 17,500කට අලෙවි කරන බවත් හෙතෙම සඳහන් කළේය.


( ඉන්දික හේවාවිතාරණ)