trc-sirasa-unp-july9

‘සිරස’ මාධ්‍ය ආයතනය විසින් ඉකුත් 09 වැනිදා අරගලකරුවන් උසිගැන්වෙන ආකාරයෙන් ප්‍රචාරණ සිදුකර ප්‍රචණ්ඩත්වය වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව කඩිනමින් ජනගත කරන ලෙස ඉල්ලා ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ’ සහ ‘යූ.එන්.පී. අරටුව’ සංවිධාන විසින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ඊයේ (25 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

මෙම අවස්ථාවට ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ සංවිධානයේ’ කැඳවුම්කරු දේශාන් ද සිල්වා, පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක (එ.ජා.ප.) සුපුන් පුෂ්ප කුමාර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී චමිල රත්නායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.



විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව ලබාදී තිබෙන නියමයන්ට හා කොන්දේසිවලට අනුකූල නොවන අයුරින් සිරස මාධ්‍ය ආයතනය විසින් හිතාමතාම රටතුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිකරමින් දේපොළ හානි සිදුකිරීමට අරගලකරුවන් පෙලඹවූ බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර ඉදිරි පියවර ගන්නා ලෙසද ඔවුහු විදුලි සන්දේශ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළහ.

ඉන් අනතුරුව අදහස් දැක්වූ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුපුන් පුෂ්ප කුමාර මෙසේ පැවසීය.

“රටේ අන්තවාදීන් ජනමතය වෙනස් කරන වෙලාවේ රනිල් වික්‍රමසිංහ නිර්භයව කටයුතු කළා. 2005 වසරේ සිටම රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරගෙන නින්දිත ලෙස සිරස මාධ්‍ය හැසිරුණා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන්න සිරස මාධ්‍ය ජාලය සාපරාධී ලෙස කටයුතු කළ ආකාරය දැන් ජනතාව තේරුම් ගෙන තිබෙනවා. අපිට තියෙන කනගාටුව එක්සත් ජාතික පක්ෂය කවදාවත් මාධ්‍ය ආයතනවලට එරෙහිව කටයුතු කරලා නෑ. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අද මේ පැමිණිල්ල අපි භාරදෙන්නේ මූලාරම්භයක් ලෙසයි. සිරස මාධ්‍ය ජාලය ඉකුත් 09 වැනිදා හැසිරුණු ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ සිදුකළ යුතුයි.

නැතහොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ හා භේදයකින් තොරව සියලුදෙනා නැගී සිටිනවා. මාධ්‍ය හැසිරීම පිළිබඳ යම් ස්ථාවරයකට පැමිණිය යුතුයි. නැතහොත් මාධ්‍ය ආයතන විසින් දේශපාලඥයා පණ පිටින් මරා දමාවි. සිරස ගැන අපිට කනගාටුයි.’’

මේ පිළිබඳ විදුලි සන්දේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙන් විමසීමේදී එහි ප්‍රකාශිකාවක කියා සිටියේ අදාළ පැමිණිල්ල ගැන කොමිෂන් සභාව පාර්ශ්වයෙන් සොයා බලන බවත්, එම පරීක්ෂණයට අදාළව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ද යම් කොටසක් පැවරී තිබෙන බවත්ය.

(සාලිය කුමාර ගුණසේකර)

මිලියන දෙකහමාරකට වැඩි නැරඹුම් ලැබුණ ජුලි 09 දා සිරස සජීවී විකාහයේ වීඩියෝව පහතින්