sri-lanka-emergancy-call

පරිපාලන නිලධාරීන් කලකිරීමට පත්ව, අත්‍යවශ්‍ය සේවාවලින් බැහැර වුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම රජය භාරගත යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපි යොමු කරමින් පරිපාලන සේවා සංගමය මේ බව පෙන්වාදී ඇත.



ජාතික ආපදා තත්ත්වයක් හෝ ප්‍රකාශයට පත්කර, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා නිසි බලධාරියෙකු පත්කර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව සහ අයිතීන් ද ආරක්ෂා කළ යුතු බව එම සංගමය පවසයි.

මාතර රෝහල වෙත ගිය මාතර ප්‍රාදේශීය ලේකම්වරිය බලහත්කාරයෙන් කාමරයක රඳවාගෙන රෝගී සත්කාරය පිළිබඳ සෞඛ්‍ය ආචාරධර්ම උල්ලංඝණය වන ආකාරයෙන් සෞඛ්‍ය සේවකයින් පිරිසක් කටයුතු කර ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

ඉන්ධන බෙදාහැරීමේදී ඇති වූ ගැටලුවක් මෙලෙස ප්‍රාදේශීය ලේකම්වරිය සිරකර තැබීමට හේතුවී තිබේ.



එසේම ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධ වැඩසටහනක් ක්‍රියාත්මක වන අවස්ථාවේ එම වැඩසටහන අධීක්ෂණය කළ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයාගේ රාජකාරියට කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් බාධා කර ඇතැයි ද පරිපාලන නිලධාරීන් යොමුකළ ලිපියේ සඳහන් වේ.

මෙම සිදුවීම් දෙකට අදාළව නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට වන්නේ නම්, දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ද රාජ්‍ය පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි.