singapore-rich-country

ඉන්දියන් තෙල් සමාගමට අනුබද්ධ ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් ඇතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල ඉන්ධන නොපවතී. එය එසේ වන්නේ බනිජ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වය නිසාය. ඒ තරගකාරිත්වය නිර්මාණය කිරීම සඳහා කුමක් කළ යුතු දැයි අප විමසුවේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළෙඳ ප්‍රජාවගේ සංවිධානය වන කොළඹ නැව් ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් මාසකෝරාළ මහතාගෙනි. 

අප බනිජ තෙල් ලබාගන්නේ පිටරටවලිනි. එය අප රට ඇතුළේ නිෂ්පාදනය කරන දෙයක් නොවේ. එවැනි භාණ්ඩයක් සම්බන්ධයෙන් රටේ තිබෙන්නේ රජයේ ඒකාධිකාරියකි. ඒ  නිසා අල්ලස, දූෂණය, නාස්තිය යනාදියත් රාජ්‍ය ව්‍යවසාය සමග බද්ධ වෙයි. රටක ආර්ථිකය දුවන්නේ තෙල් හා විදුලිය මතය. රටක් සංවර්ධනය කිරීමට නම් ඒ කර්මාන්ත දෙකෙහිම ඇති කළ යුත්තේ තරගකාරිත්වයකි. දේශීය මෙන්ම පිටරට සමාගම් ද ඒ ක්ෂේත්‍ර දෙක සඳහා යොදාගත යුතුය. එහෙත් දේශීය සමාගම්වලට පවතින ධාරිතාව අඩුය. තාක්ෂණය දැනුම සහ වෙළෙඳපොළ අතින් දේශීය සමාගම් දුප්පත්ය. ඉන්දියන් තෙල් සමාගමට එරට බිලියන 1.3 ක වෙළෙඳපොළක් පවතී. ඇමෙරිකන් තෙල් සමාගමට තිබෙන්නේ ලොව පුරා විහිදුණු ජාලයකි. එවැනි සමාගම්  ලංකාවට පැමිණියොත් ඔවුන් තම වෙළෙඳාම කරගෙන යන්නේ ලංකාවෙන් ලැබෙන රුපියල් හෝ ඩොලර් වලින් නොව ලෝකයෙන් ලැබෙන ඩොලර් වලිනි. ඒ සමාගම්වලට ඩොලර් හිඟයක් නැත. අද ලංකා ඉන්දියන් තෙල් සමාගම තමන්ට අවශ්‍ය ඩොලර් ලබාගන්නේ තම මව් සමාගමෙනි. සිංගප්පුරුව ගත්තොත් එරට බනිජ තෙල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි සමාගම් 30 සිට 40 අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙයි. සිංගප්පූරුවේ බලශක්තිය රැකී තිබෙන්නේ ඒ සමාගම්වල ආයෝජනවලිනි. ඇත්තෙන්ම සිංගප්පූරුව ගොඩ ගොස් තිබෙන්නේ තෙල් මතය.




බොරු දේශප්‍රේමයෙන් රටක් දියුණු කළ හැකිද?

1961 දී ලංකාව විදේශීය තෙල් සමාගම් වන ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල් මෙරටින් පන්නා දැමූ අවස්ථාවේ සිංගප්පූරුව රටට පැමිණෙන්නැයි ඒ සමාගම්වලට ආරාධනා කළේය. සිංගප්පූරුව තම පළමුවැනි තෙල් පිරිපහදුව ෂෙල් සමාගම සමග පටන් ගත්තේ 1961 ජූලි 26 වැනිදාය. මොබිල් සමාගමේ ලොකුම පිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේය. මොබිල් සමාගමේ දෙවැනි ලොකුම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ පවතින ඒ තත්වය නිසා එරට අද ලෝකයේ බලශක්ති කේන්ද්‍රයකි. සිංගප්පූරුව පිහිටා තිබෙන්නේද ලංකාව වැනි හොඳ නැව් මාර්ගයකය. නැව්වලට පහසුකම් සහ සේවා සැලසීම අතින් ලොව ඉහළින්ම සිටින රට සිංගප්පූරුවයි. සිංගප්පූරුව තමන්ට අවශ්‍ය බොරල්තෙල් ගෙන්වන්නේ මැදපෙරදිග රටවලිනි. දවසකට නැව් 300 ක් ලංකාව පසුකරගෙන යන බවට අපේ මිනිස්සු කයිවාරු ගසති.එහෙත් ඒ නැව් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ සිංගප්පූරුවේ තරම් විශාල ව්‍යාපෘති සඳහා වන ආයෝජකයන් ලංකාවට නොපැමිණෙන නිසාය. ලංකාව පසුකරගෙන දවසකට යන නැව් 300 න් සියයට 60 ක් පමණම ඉන්ධන සහ ඉන්ධනවලින් කළ නිෂ්පාදන ප්‍රවාහනය කරන නැව්ය. ඇමෙරිකාවට අයිති දෙවැනි විශාලතම පිරිපහදුව තිබෙන්නේ සිංගප්පුරුවේය. නැව්වලට  තෙල් සැපයීමෙන් ලොව පළමු තැන හිමිකරගෙන සිටින්නේද සිංගප්පූරුවයි. ගුවන් යානාවලට අවශ්‍ය තෙල් ද සිරගප්පූරුවේ නිෂ්පාදනය කරයි.ඒ රට වටා පිහිටි එරටට අයිති දුපත්වල තිබෙන පිරිපහදු ගුවනටත් කදිමට දිස්වෙයි.

සිංගප්පූරුවට වඩා හොඳට එය ලංකාවට කළහැකිව තිබිණි. ත්‍රිකුණාමලය ඊට සුදුසුම  ස්ථානයයි. බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉදිකළේ එය ලොව පිහිටි හොඳම ස්වභාවික වරායක් නිසාය. අප ඒ තෙල් ටැංකි මළකඩ කෑමට ඉඩහැරියා මිස ඒවායෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත. 2003 දී ඉන්දියන් තෙල් සමාගමට ඒ තෙල් ටැංකිවලින් යම් ප්‍රමාණයක් ලබා දුන්නත් ඊට ද ලංකාවේ අන්තවාදී වාමාංශිකයෝ විරුද්ධ වූහ. 1961 දී බණ්ඩාරනායක මැතිනියන්ගේ ආණ්ඩුව ගත් වැරැදි තීන්දුව නිසා ලංකාව අද වළක වැටී සිටියි. සිංගප්පූරුව පටන් ගත්තේ ලංකාව වරද්දා ගත් තැනෙනි. ලී ක්වාන් යූ දුරදක්නා නිවරැදි දැක්මකින් යුතු සැබෑ දේශප්‍රේමී  නායකයෙකි. ඔහු ව්‍යාජ දේශප්‍රේමියෙකු නොවේ. ලී ජාතිය හා ආගම හුවා දැක්වීම ප්‍රතික්ෂේප කළ නායකයෙකි. ජාතිය හා ආගම විකිණීමෙන් රටක් දියුණු කරන්නට බැරි බව ලී මැනවින් දැන සිටියේය. සිංගප්පූරුව ද ලංකාව සේම මිශ්‍ර සමාජයක් තිබෙන රටකි. එරට ජනගහනයෙන් 70% ක් චීන සම්භවයක් තිබෙන හොංකොං ජාතිකයෝය. අනෙක් පිරිස මුස්ලිම් හා දෙමළය. එරට අවුරුද්දක ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 50,000 කි. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,600 කි. අපට 1948 දී නිදහස ලැබුණත් සිංගප්පූරුවට නිදහස ලැබුණේ 1965 දීය. ලංකාව පසුකරගෙන  යන බොර තෙල් නැව්වලට සිංගප්පූරුවට යන්නට තවත් දවස් 4 ක් ගතවෙයි.

මැදපෙරදිග රටවල සිට ලංකාවට පැමිණෙන්නට නැව් වලට ගතවන්නේ දවස් හතර හමාරකි. ඉතින් ත්‍රිකුණාමලයේ තිබෙන ටැංකිවලින් ප්‍රයෝජනයක් ගෙන ලංකාවේ තෙල් පිරිපහදු දියුණු කළා නම් අප සිටින්නේ සිංගප්පූරුවට ඉදිරියෙනි. බලශක්ති කේන්ද්‍රය වන්නේ ලංකාව මිස සිංගප්පූරුව නොවේ. එය අදටත් කළ නොහැකි දෙයක් නොවේ. යුද්ධය දිනා දුන් හමුදාවත් බුදු පියාණන්ගේ පිවිතුරු ධර්මයත් සිවුරත් විකුණමින් අපයෝජනය කරමින් දේශපාලනයට කරන මිනිසුන්ට රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරිමට  වුවමනාවක් නැති බව දැන් මැනවින් පැහැදිලිය. අබුඩාබි හා ඩුබායි යන රටවල්ද දියුණු වූයේ සිංගප්පූරුව  ආදර්ශයට ගත් නිසාය. ඩුබාහිවල රැකියා කරන අයගෙන් 80% ක් පිටරැටියෝය. සිංගප්පූරුවේ රැකියා කරන අයගෙන් 40% ක් විදේශිකයෝය. දැනුම ප්‍රාග්ධනය, මුදල් තාක්ෂණය හා වෙළෙඳපොළ හිමි විදෙස් සමාගම් ලොව බොහෝය.  එහෙත් ඔවුන් අයෝජනය කරන්නේ ඊට සුදුසු පරිසරයක් තිබෙන රටවලය. ලංකාවේ අද එවැනි පරිසරයක් නැති බව  ජාත්‍යන්තරයේ පිළිගැනීමයි. ඉන්දියානු විරෝධයක් අදටත් ලංකාවේ පවතී. එහෙත් ඉන්දියන් ඔයිල් සමාගමක් අද ලංකාවේ නොතිබුණේනම්  රට ගිනි ගනියි. තවත් තෙල් සමාගම් කිහිපයක් ලංකාවේ තිබුණා නම් අපේ ජනතාවට අද තෙල් පෝලිම්වල රස්තියාදුවීමටවත් තෙල් පෝලිම්වල සිටියදී මරණයට පත්වීමටත් සිදු නොවෙයි. ඒ නිසා දැන්වත් ලංකාව තම තෙල් වෙළෙඳපොළෙහි තරගකාරිත්වයක් ඇති කරගත යුතුය.



තරගකාරිත්වයේ වාසිය ලැබෙන්නේ රටේ ජනතාවටය. තරගකාරිත්වය ඇති වූ දාට නැව් හා ගුවන් සමාගම්වල තෙල් සැපයීමට ද අපට හැකිවෙයි. පිරිපහදුවල ආයෝජනයට සුදුසුවන්නේ විදේශීය සමාගය. අවශ්‍ය දැනුම, ප්‍රාග්ධනය, තාක්ෂණය හා වෙළෙඳපොළ පවතින්නේ විදෙස් සමාගම්  සතුවය. නිදහස් වෙළෙඳ කලාපවල ආයෝජනය කර තිබෙන දෙදහසකට අධික පිරිසක් විදේශිකයෝය. ඔවුන් මෙරට ලක්ෂ ගණනකට රැකියා දී තිබේ. ඔවුන් තමන්ගේ ලාභය රටින් පිටට රැගෙන යන බව සත්‍යයකි. එය එසේ වන්නේ ලංකාවේ මූල්‍ය ක්‍රමයෙහි පවතින ප්‍රශ්න නිසාය. එහෙත්  සිංගප්පූරුවේ එසේ නොවෙයි. එයට මූල්‍ය ක්‍රමය ඉතා ශක්තිමත්ය. ලොව පවතින ප්‍රමුඛ බැංකු හා මෙහෙයුම් කරන සමාගම් සියල්ල සිංගප්පූරුවේ පවතී. ඒ නිසා විදේශ නැව් සමාගමක් සිංගප්පූරුවේ ව්‍යාපාර කරන්නේ නම් ඔවුන්ගේ මුදල් තිබෙන්නේ සිංගප්පූරුවේමය. ඒ සමාගම් ඒ මුදල් තම රටවලට රැගෙන නොයයි. හේතුව තම රටවල බදු ඉහළ අගයක පැවැතීමය. අප දොරවල් සියල්ල වසාගෙන ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නේ වැල් බයිලාය. බංග්ලාදේශයේ මිනිස්සුත් අද ලාංකිකයන්ට සිනාසෙති. රට ඒ තත්ත්වයට ඇද දැමුවේ වර්තමාන පාලකයෝය.

බංග්ලාදේශයේ ඇගලුම් කම්හල්වල කළමනාකරුවන් ලෙස ගියේ ලාංකිකයෝය. අද බංග්ලාදේශයේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 50 කි. ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5 කි. ඉස්සර බංග්ලාදේශයට ගිය අපේ මිනිසුන්ට ගෞරවයකින් යුක්තව කතා කළහ. සැලකුහ. එහෙත් දැන් ඔවුන් අපට සිනාසෙන බව එහි සිටින අපේ මිතුරෝ කියති. අපට ඒ ඉරණම අත්වී තිබෙන්නේ ලංකාව බංගලාදේශයෙන් සිඟා කන නිසාය. අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන පුරාජේරු කිව්වාට අද ජාත්‍යන්තර ප්‍රජාව ලාංකිකයන් ලෙස බලන්නේ හිඟා කන ජාතියක් දෙස බලන උසුළු විසුළු සිනාවෙනි. රටට එසේ වුණේ පාලකයන්ගේ වරදිනි. වියට්නාමය සිටියේද අපට පසුපසිනි. එහෙත් අද එරට වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 400 ක් පමණ වෙයි. වියට්නාමයට බෝම්බ දමා එරට වැසියන් ඝාතනය කළේ ඇමෙරිකානුවෝය. එහෙත් අද ඇමෙරිකන් සමාගම් 1000 ක් පමණ වියට්නාමයේ ආයෝජනය කරයි. ඒ ඇමරිකන් ආයෝජකයන්ට එරෙහිව වියට්නාමයේ ජනතාව උද්ඝොෂණය නොකරති. ආයෝජකයන්ට එරටට එන්නැයි ඔවුහු තව තවත් ඇරියුම් කරති. එහෙත් ලංකාවේ මෝඩ මිනිස්සු යල් පැනපු හණමිටි අදහස් කරපින්නාගෙන වැළලෙති.ලාංකිකයන් අදටත් ඉන්දියාවට විරුද්ධය. ආදානි සමාගමට සුළං බලාගාර ඉදිකිරීමට දුන්නාට ද විරුද්ධය. අපේ බලශක්ති ක්ෂේත්‍රය විකුණන බවට මොර දෙති. විකුණන්නට අපට තිල්ලෙන බලශක්ති මොනවාද? අප සිටින්නේ මුම්බායි නගර සභා පාලනය යටතේ සිටින ජනගහනයටත් වඩා අඩු ජනතාවක් සිටින රටකය. අපේ වෙළෙඳ ජනගහනය මිලියන 21 කි. මුම්බායි නගරාධිපති යටතේ සිටින ජනගහනය මිලියන 23 කි. දිල්ලි නගරයේ ජනගහනය මිලියන 25 කි. මුම්බායි නගරාධිපති ලංකාවේ ජනාධිපතිට වඩා වැඩි ජනගහනයක් පාලනය කරයි. අප ඒ සත්‍යය තේරුම් ගත යුතුය.  අනතුරුව අපේ තෙල් වෙළෙඳපොළේ තරගකාරිත්වය වැඩි කිරිමට හැකියාව තිබෙන විදෙස් සමාගම්වලට ඇරියුම් කළ යුතුය.

ආර්ථිකමය වශයෙන් ලංකාව වැටී සිටින්නේ හතරගාතෙනි.මෙවැනි තත්වයක සිටියදී විදේශ ආයෝජකයන් පැමිණේවිදැයි කෙනෙකුට සැකයක් ඇතිවිය හැකිය. ඒ නිසා අප පළමුව කළ යුත්තේ රටක් ලෙස අපේතිපත්තිය ලෝකය හමුවේ කියාපෑමය. තෙල් ගෙන්වීම ගබඩා කර ගැනීම සහ අලෙවිය දෙස් විදෙස් සමාගම්වලට විවෘත කරන බව පළමුව ලෝකයාට පැවසිය යුතුය. අපනයනයේ නියුතු අපේ දේශීය සමාගම් සතුව විදෙස් සමාගම් සමග එකතු වී තෙල් ආනයනයට හා වෙළඳාමට පිවිසිය හැකිය. ඒ හැකියාව තිබෙන දේශීය සමාගම් කොතෙකුත් පවතී. රටේ පවතින නීති හා ප්‍රතිපත්ති කාලයට ගැළපෙන ලෙස වෙනස් කර මුදල් හා තාක්ෂණය සතු සමාගම් වලට තෙල් ආනයනයට හෝ පිරිපහදු කිරීමට ආරාධනා කළ යුතුය. එසේ කරමින් තෙල් වෙළඳපොළෙහි තරගකාරිත්වයක් ඇති කළ යුතුය. තරගකාරිත්වයකින් තොරව ජනතාවට සහනයක් නොසැලසෙයි. බනිජ තෙල් වෙළෙඳපොළට පිවිසෙන සමාගම්වලට ලංකාවේ මෙහෙයුම්වලින් ලැබෙන්නේ රුපියල්ය. ඒ රුපියල් ඩොලර් කර ගැනීමට රට ඇතුළේ ඩොලර් නැත. ඒ නිසා විදෙස් ආයෝජකයන් පැමිණෙන්නේ නැතැයි පිරිසක් බිය පළ කරති. හැමදේම හැමදාම එක ලෙස නොපවතියි.

රටේ ප්‍රතිපත්ති  වෙනස් වෙයි. මිනිසුන් සිතන පතන හැටි වෙනස් වෙයි.  අකැමැත්තෙන් හෝ හරි දේ කරන්නට යොමු වෙති. මිනිස් සමාජයේ ස්වභාවය එයයි. ලෝක ස්වභාවය එයමයි. ලංකා ආණ්ඩුව නිවැරැදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පැමිණෙන්නේ ඩොලර් ඕනෑ තරම් තිබෙන හෝ හොයා ගත හැකි දෙස් විදෙස් සමාගම්ය. ඒ සමාගම් කඩා නොවැටෙයි. ලංකාවේ තිබෙන්නේ ඉතාමත් කුඩා වෙළෙඳපොළකි. ලෝකයේ ධනවත් පුද්ගලයකුගේ ආර්ථිකය තරම්වත් ලංකාවේ ආර්ථිකය විශාල නොවේ. ඉතින් ලොව විශාල සමාගම්වලට ලංකාවට වැලිකැටයකි. ඔවුන් ලංකාට්ටේ ආයෝජනය කරන්නේ අනාගත සැලසුම් මතය. උදාහරණයකට ෂෙල් සමාගම ලංකාවට පැමිණෙතැයි කියා සිතමු. ෂෙල් සමාගම් නැව් හා ගුවන් යානාවලටද තෙල් විකුණයි. ඒවායෙන් ඒ සමාගමට ලැබෙන්නේ  ඩොලර්ය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවේ සිටිමින් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක තෙල් නැවලට සපයයි. ලංකාවේ තෙල් වෙළෙඳපොළට පිවිසෙන කොයි සමාගමත් එන්සේ ඉන්දියන් සාගරයේ විවිධ ව්‍යාපාරවලට පෙළඹෙයි. ඒ සමාගම් ලංකාවේ සිටීමෙන් අපට ලැබෙන ප්‍රතිඵලය මෙරට වෙළෙඳපොළේ තෙල් හිඟ නොවීමය. එසේම තරගකාරිත්වය නිසා සාධාරණ සහ යුක්ති සහගත මිලකට තෙල් මිලදී ගැනීමට හැකිවීමයි. එසේ ලංකාවේ භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ සිට වෙනත් රටවලට තෙල් සැපයීමටද ඒ සමාගම්වලට හැකි වෙයි. සිංගප්පූරුව අද කරන්නේ එයයි. ප්‍රංශයේ ටෝටාල් නමැති සමාගම එල්.එන්.පී. ගෑස් ගබඩා ඉදිකර තිබෙන්නේ සිංගප්පූරුවට අයත් දුපතකය. ඒ සමාගම නැගෙනහිර ආසියාවේ රටවලට එල්.එස්.පී. ගෑස් සපයන්නේ සිංගප්පූරුවේ තිබෙන තමන් සතු ගබඩාවලිනි. ඒ නිසා ජාත්‍යන්තර සමාගම්වලට ලංකාවේ ඩොලර් නැතිකම  ප්‍රශ්නයක් නොවෙයි. තෙල් හා ගෑස් සමාගම්වලට ලංකාවෙන් ලැබෙන වාසිය රටේ පිහිටීමය. එමගින් ඔවුන්ගේ සැපයුම් ජාලය ලෙහෙසි පහසු වී බෙදා හැරිම සඳහා වන වියදම අවම වෙයි. තෙල් හා ගෑස් වෙළඳාමේ නියුතු සමාගම් බලන්නේ එසේය. ඔවුන්ගේ එකම ඉලක්කය ලංකාවෙ පුංචි වෙළෙඳපොළ නොවේ.මේ කොයික කිරීමටත් පාලකයන් මෙන්ම ජනතාවද බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. ඔවුනට දුර දක්නා නුවණක් තිබිය යුතුය. හමුදාව බුදුදහම සහ සිවුර විකුණන ව්‍යාජ දේශප්‍රේමිත්වයෙන් මිදිය යුතුය. එසේ ජනමාධ්‍ය ද සිව්වැනි පුරවැසියාගේ වගකීම එලෙසින්ම ඉටු කළ යුතුය.

-රොහාන් මාසකෝරාළ
(ආසියානු නැව්ගත කරන්නන්ගේ සංගමයේ හිටපු මහ ලේකම්වරයාද වන රොහාන් මාසකෝරාළ  මහතා ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ හිටපු මහ ලේකම්වරයා දක්වයි. රබර් නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ  ජනරාල්වරයා ලෙස ද දැනටත් කටයුතු කරන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳවදවේදී (B.Sc උපාධිය දිනාගෙන තිබෙන්නේ ඇමෙර්කාවේ කනෙක්ටිකට් (Conneclicut ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙනි.  ඇමෙරිකාවේ හියුෂ්ටන් (Houston) විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර හා අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය දිනාගෙන සිටින්නෙකි.)
-සටහන - ගුණසිංහ හේරත් -lankadeepa