ranil-president-sajith-prime-minister

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලියුම එවා ඇති පසුබිමේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය කවර ආකාරයෙන් විසඳේද යන්න ගැන 14 බ්‍රහස්පතින්දා රාත්‍රිය වනවිට ඉඟි රැසක් ලැබී තිබේ.
ඒ අනුව කෙටියෙන් පවසතොත් ඉදිරි කාලයේ (ටික දිනකට නොවේ) ශ්‍රී ලංකාවේ ජනපති පදවිය රනිල් වික්‍රමසිංහ විසින්ද අගමැති පදවිය සජිත් ප්‍රේමදාස විසින්ද දරුනු ඇත්තේය. ඇමතිවරු ලෙස සියලු පක්ෂ සම්බන්ධ කරගත් සීමිත ඇමති මණ්ඩලයක් ක්‍රියාකරනු ඇත්තේය.

ගෝඨාභයගේ ජනපති තනතුරින් ඉවත්වීම හෙට 15 උදෑසන කතානායකවරයා දන්වා සිටින්නට නියමිත අතර ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ 37 වගන්තිය අනුව වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීම සිදු කරනු ඇත.


වාර්තාවන ආකාරයට හෙට (15) පාර්ලිමේන්තුව රැස්වීමක් සිදු නොවන අතර ඒ වෙනුවට පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් කතානායකවරයා කැඳවා ඇත. මෙම රැස්වීමේදී වැඩබලන ජනපති රනිල්ට කටයුතු කිරීම පහසුවනු පිණිස නව අගමැතිවරයෙකුගේ නමක් යෝජනා කරන්නට නියමිතය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අගමැති වරයෙකුගේ නමක් ඉදිරිපත්වන්නට උනන්දුනැති බව පැවසෙන අතර ජවිපෙද කිසිවෙකු ඉදිරිපත් කරන්නේ නැත.
අද (14) සන්ධ්‍යා කාලයේ විපක්ෂයේ ජවිපෙ හැර සියලු පක්ෂ එක්වී විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී  හෙටට යෝජනා කරන අගමැති ලෙස සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වූ අතර රැස්වූ සියලු පක්ෂ ඊට අනුමැතිය ලබාදී ඇත. මේ අනුව බොහෝ දුරට සජිත්ගේ නමට අභියෝගයක් එල්ලනොවී ඔහු අගමැති ලෙස තෝරාපත් වනු ඇත.
ඒ අනුව හෙට 15 සිට දින 4 ක් 19 දක්වා දක්වා රනිල් වැඩබලන ජනපති හා සජිත් අගමැති ලෙස කටයුතුකරනු ඇත.


 පසුගිය 9 සඳුදා කතානායක පක්ෂ නායකයන් සමග කතාබහකරගත් පරිදි ලබන 19 අගහරුවාදා යළි පාර්ලිමේන්තුවේදී සර්ව පාක්ෂික රජයක් සඳහා ජනපති කෙනෙකු හා අගමැති කෙනෙකුගේ නම් යොජනා කරන්නට නියමිතය.
මෙහිදී තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනපති ලෙස යෝජනා කරන්නටත් විපක්ෂය සාමුහිකව අගමැති පදවියට සජිත් ප්‍රේමදාස නම යෝජනා කරන්නටත් සූදානම් බව දේශපාලන ආරංචි වාර්තාකර තිබේ.ඩලස්, චම්පික, ෆොන්සේකා, අනුර කුමාර ආදීන්ගේ නම් තැනින් තැන කතා වුණත් ඒ නම් යෝජනා වුණත් ලැබෙන ඡන්ද ප්‍රමාණ අනුව ජයගන්නා හැකියාව ගැටලුකාරීය.

පොදුජන පෙරමුණ ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට සහාය දුන්නද අග්‍රාමාත්‍ය තනතුර සඳහා කිසිවෙක් නම් නොකරනු ඇති අතර පොදු ජන පෙරමුණ අගමැති අපේක්ෂකයෙකු ලෙස සජිත්ට අභියෝග කරන නමක් නම් නොකරනු ඇතැයි වාර්තාවේ.විපක්ෂයද රනිල්ට අභියෝග කරන්නෙකු නම් කරන්නට අවසන් නිගමනයකට එළැඹ නොතිබුන බව 14 රාත්‍රිය වනවිට වාර්තාවී තිබුණි.ඇතැම් වාර්තා පවසන්නේ රනිල්ට අභියෝග කිරීමට සරත් ෆොන්සේකාගේ නම තරගයට ඉදිරිපත් කරනු ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ‘වැඩ බලන‘ නොව  අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ඒ අනුව 20 වනදා ඒකමතිකව හෝ රහස් ඡන්දයකින් තේරීපත්වනු ඇති බවත් අගමැති ලෙස සජිත් ප්‍රේමදාස පත්වනු ඇති බවත් විශ්වාස කෙරේ.
සියලු පක්ෂ නියෝජනය කරන සර්ව පාක්ෂික කැබිනෙට්ටුව ඊට ආසන්න  දිනයක පත් කරනු ඇත.