ranil-kandy-speech

අද (30) මහනුවර කළ සංචාරයෙන් අනතුරුව මහනුවර ජනපති මන්දිරයේදී කතාවක් පැවැත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික පීඩනයක් ඇතිවූ බවත් ඒ අනුව ඇතිවූ දේශපාලන විපර්යාසය නිසා තමා ජනපති ධුරයට පත්වූ බවත් පැවැසීය. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවූ බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉවත්වීමට සිදුවූ බවත් පැහැදිලිකළේය.


‘පොහොර නැතිවුණා, තෙල් නැතිවුණා අවසානයේ පීඩනය පිපිරුණා. ජනතාව පාරට බැස්ස එක හරි ඒත් අරගලවලට උද්ඝෝෂණවලට ආපු අරමුණු වෙනත් පැත්තකට ගියා වෙනත් සංවිධාන ඇවිත් දේශපාලන උවමනාවන්ට ඒවා පාවිච්චි කරා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් පුච්චන එක පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙන ගත්ත එකක්. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තිබ්බා ඒත් මෙහෙම දේවල් කරේ නැහැ.


මාව ගෙදර යවන්නත් කතාවෙනවා. ඒත් ඊට කලින් මට ගෙයක් හදල දෙන්න කියල මං ඒ අයගෙන් ඉල්ලනවා.
රටේ ප්‍රශ්න වලට බලපෑවේ ගෝඨාභය පොහොර නොගෙනාපු එක කියල කට්ටියක් කියනව. තව කට්ටියක් කියනවා ගෝඨාභය  අයිඑම්එෆ් වෙලාවට ගියෙ නැති නිසා කියල. තවත් අය කියනවා පසුගිය රජයන් එහෙම නැත්නම් යහපාලන කාලෙ ගත්ත විශාල ණය නිසා කියල.
මේව කිය කිය තර්ක කරන්න පුළුවන් කාට හරි ඇගිල්ල දික්කරන්න පුළුවන්. ඒත් දැන් ඒවයින් වැඩක් තියද දැන් තියන ප්‍රශ්න වලට ඒවයින් විසදුම් ලැබෙයිද..  නැහැනෙ. ඒවට වරදකාරයො ගැන විශ්ලේෂණය කරල පොත් ලියන්න වුණත් පුලුවන් කාට හරි.
ඒත් පරණ දේවල් හොය හොය හිටියයි කියලා මෙතැනින් අඩියක් හරි අපට රට සංවර්ධනයකට ගෙනියන්න බැහැනෙ. මේ ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් ලැබෙන්නෙත් නැහැනෙ.


මම ජනපතිධුරය භාර ගත්තා කියලා ආර්ථික ප්‍රශ්නය විසඳිලා නෑ. ජනතාවට තියෙන ප්‍රශ්න ඒ විදිහටම



තාම තියෙනවා. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වෙන එක, රැකියා
නැති වෙන එක අද සංවර්ධනයට මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම තියෙනවා.එහෙන් මෙහෙන් ණය ගත්ත කියල ප්‍රශ්න විසදිලා නැහැ. ඒවයින් තවත් ණය බර වැඩිවෙලා තියනව.

සටන් පාඨ කිය කිය ඉදල මේ ප්‍රශ්න වැඩි කරනවද අඩු කරනවද කියලා අපි තීරණය කරන්න ඕන. මේක තවත් වැටුණොත් රටත් නැති වෙනවා. දැනට ගණං බලල තියන විදියට අපේ ආර්ථිකයේ දළ දේශීය නිශ්පාදිතය මේ අවුරුද්දෙ සියයට 7කින් අඩු වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ සියයට
තුනකින් අඩුවෙනවා. ඊට පස්සේ අවුරුද්දේදී සියයට එකකින් වර්ධනය වෙනවා.
අපේ උද්ධමනය තව වැඩිවෙනවා. මේවා කියන්නේ කවුරුත් බය කරන්න නෙමෙයි. මේවට විසඳුම් හොයන්නයි.
මං හිතන්නෙ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් තමා මේවට විසදුම් ලැබෙන්නෙ.මං ඒ ගැන සියලුම මන්ත්‍රීවරුන්ට ලියුමකින් ආරාධනා කළා. මං හිතනව පිරිස මේක තේරුම් අරන් එක්වේවි කියලා.
අද මෙතැන ඇවිත් ඉන්නවා එජාපෙ සංවිධායකවරුන් වැඩකරපු අය.. ඒවගේම පොදුජන එක්සත් පෙරමුනේ අයත් ඉන්නවා. දෙගොල්ලො මේ විදිහට මින් පෙර එකට ඇවිත් නැහැ. මට අවශ්‍ය ඒ සමගිය. මෙතන්ට සජබෙ,ජවි​පෙ,කොන්ග්‍රසයේ වගේ අනෙක් පක්ෂ වල අයටත් ඉඩක් තියනවා. මං ඒ හැමෝම එකතුවෙයි කියල බලාපොරොත්තු වෙනවා.
මේ ප්‍රශ්න ඔක්කොම කොළඹ දේශපාලන නායකයො අතරෙයි. ගම්වල තියෙන්නෙ මිනිසුන්ගෙ ප්‍රශ්න ටික ඒක කොහොම හරි විසදගන්න තමයි ඒ අයට ඕන. මං දිස්ත්‍රික් මට්ටමින් නායකයින් එකතුකරගෙන ගම්වල කන්න නැති එක රැකියා නැති එකට ඉක්මන් වැඩසටහනක් ඉදිරි සතියෙදිම අරඹනවා. මගේ ඉල්ලීම සියල්ලන්ට එකතුවෙන්න කියන එක'