president-house-money

ඊයේ (09) අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනාධිපති මන්දිරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරය වෙත ගිය තරුණ පිරිස් එහි තිබූ අල්මාරි ලාච්චු සියල්ල ඇද සෙල්ෆි ගසමින් සිටියදී  එම පස් දෙනෙකුට මුදල් නෝට්ටු මිටි ගණනක් එහි තැන්පත් කර තිබෙන අයුරු දැකගන්නට ලැබී තිබුණි.
ජනපතිවරයා මන්දිරය අතහැර යන්නට පෙරාතුව ඒවා රැගෙන ගොස් නොතිබූ අතර ජනපතිවරයාගේ පුද්ගලික පරිහරණය පිණිස තබාගෙන සිටි මුදල් නෝට්ටු යයි සැකකළ හැකි මුදල් විශාල ප්‍රමාණයක් මෙලෙස හමුවීමෙන් පසු අරගලකරුවන් විසින් ගණන් කරන ලද්දේ එහි එතැන සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ අධීක්ෂණයද සහිතවය.

රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසක් එතැන තිබූ බව එය ගණන් කළ අය දන්වා සිටින ලදි.
කොටුව ජනාධිපති මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරයෙකුට එය භාර දී තිබෙන අතර ඔහු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට එම මුදල භාරදී ඇත්තේ එම පස් දෙනාද සමග ගොස්ය.එම මුදල සොයාගත් පස් දෙනාගේ ප්‍රකාශ සටහන් කරගෙන එම මුදල ලබාගත් ස්ථානාධිපතිවරයා අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දූරකථන ඇමතුමක් ලබා දී මෙම මුදලට කුමක් කළ යුතුදැයි අසා ඇතැයි වාර්තාවේ. එම මුදල නීතිය හා සාමය භාර අමාත්‍ය ටිරාන් අලස් වෙත භාරදෙන දන්වා ඇත. නමුත් පසුව කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගෙන් මේ ගැන නැවත විමසීමේදී උපදෙස් ලැබී ඇත්තේ  කිසිවකුටත් භාර නොදී පොලිසිය භාරයේ තබා ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය මගින් මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් මතුව ඇත.