pathum-kerner-arrested

සමාජ ජාලා ක‍්‍රියාකාරිකයෙකු වන වෛද්‍ය පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වනදා පාර්ලිමේන්තුව මාවතේ පොල්දුව මංසන්ධියේ දී සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.





පාර්ලිමේන්තු පිවිසුම අසලදී හමුදා නිලධාරීන්ට පහරදී ගිනි අවි පැහැර ගැනීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පරික්ෂණ සිදුවූ අතර ගිනි අවි පැහැර ගන්නා කල්ලියක් ඊට සම්බන්ධ බවට මුලින් සීසීඩීය මගින් හෙළි කර තිබුනි. නමුත් පසුව අරගලකරුවන් එම අවිය පැහැරගෙන විත් ආසන්න පාලම අසලින් දියවන්නා ඔයට දමා ඇති බව දැනගෙන එය කිමිදුම් කරුවන් ලවා සොයාගන්නට පරීක්ෂණ නිලධාරීන් සමත් විය.

පොලීසියට අවශ්‍යව සිටි අරගලයේ ක්‍රියාකාරිකයෙක් වන පැතුම් කර්නර්  කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ භාරවූ පසුව අත්අඩංගුවට පත්වූ බව වාර්තා කර තිබේ.
පැතුම් කර්නර් යනු ශ්‍රී ලංකාවේ  සිට එංගලන්තයට ගොස් සිටි අයෙකි.
'ගෝ හෝම් ගෝටා 2022' රැල්ල නිර්මාණය කරන ලද්දේ ඔහු එංගලන්තයේ වාසය කරන සමයේ බවද කියැවිණි.

වෛද්‍ය පැතුම් කර්නර් 2022 මාර්තු 17 'ගෝ හෝම් ගෝටා 2022'  සංකල්පය හඳුන්වාදෙමින් මුල් වරට වීඩියෝවක් පිට කළ අතර
ජනපතිවරයා අවසන් වරට ජාතිය අමතමින් ‘මේ අර්බුදය මාගේ නිර්මාණයක් නොවේ‘ යන ප්‍රසිද්ධ කියමන සිදු කළ දවසේ පැතුම් මේ කතාව සිදු කර තිබුණි. ‘අරගලයේ නිල නොවන මහමොළකරු‘ ලෙස මේ නිසා ඔහුව හඳුන්වා තිබුණි.