අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව
නිවේදනයක් නිකුත් කරමින් තමන් නිර්දෝෂී බව කියා සිටියි. ඔහු කියා සිටියේ කැබිනට් අමාත්‍යවරයෙකු ජපන් සමාගමකින් අල්ලසක් ඉල්ලා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ කළ බවත් ඊට පදනම් වූයේ සමාජ මාධ්‍ය තුළ පළවන ආරංචියක් පමණක් බවත්ය.


දැනට කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරයෙකු ජපානයේ ටයිසෙයි ​​නම් සමාගමකින් අල්ලස් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කලබල වී ඇති බවටද විපක්ෂ නායවරයා සඳහන් කළ බවත් තමාව විවෘතව නම් නොකළද එම චෝදනාව එල්ලවූයේ තමාට බවත්ය.

ඒ අනුව එම අල්ලස් මුදල තමන් විසින් ඉල්ලා ඇති බවට මේ වන විටත් ජනතාව අතර මතයක් පවතින බැවින් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. දීර්ඝ කාලයක් ගොඩනැගූ තම කීර්ති නාමය රැක ගැනීමට පරීක්ෂණයට මුහුණදී සත්‍යය පෙන්වන බවත් ඔහු කියයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් පුළුල් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එතෙක් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසත් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේය.