madapatha-incident
පිළියන්දල මඩපාත ඉන්ධන පිරවුම්හලක පොලිස් නිලධාරියකුට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.



සැකකරු තියුණු ආයුධය ද සමග පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අදාළ දිනයට ඉන්ධන ලබා දීමට නියමිත වාහනය ලියාපදිංචිය අංකයේ අවසාන අංකයට පරිබාහිරව වෙනත් අංකයක් සහිත කුඩා ලොරි රථයකින් පැමිණ ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දැරීමේදී

පොලිස් නිලධාරියා එයට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වී බැණවැදී සැකකරු එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව යතුරුපැදියකින් කියතක් රැගෙන පැමිණ තිබූ සැකකරු

පොලිස් නිලධාරියාට එයින් කපා පහර දීමට උත්සාහ දරා ඇති බව ඉන්ධනහලේ සවිකර තිබෙන සී.සී.ටී.වී කැමරාවේ ද සටහන් වී තිබුණි. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.



අත්අඩංගුවට ගත් සැකකරු කහපොළ ප්‍රදේශයේ පදිංචි මෙට්ට නිෂ්පාදනය කරන පුද්ගලයකු වන අතර එම වෘත්තියේදී භාවිතයට ගන්නා තියුණු ආයුධයක් පොලිස් නිලධාරියාට පහරදීම සඳහා යොදාගෙන තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය. සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

•එස්. ජයසිංහ – කහතුඩුව