kanchana-oil-time-table

ජනතාවට ලබන 10 වැනිදා සිට බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (03) පැවසීය. 

ඒ අනුව ඩීසල් නෞකා දෙකක් ලබන 8 සහ 11 යන දිනවල ද, පෙට්‍රල් නෞකාවක් මේ මස 22 වැනිදා ද මෙරටට ළගාවන බවද අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. මෙම ඇණවුම් කර ඇති ඉන්ධන තොග 8 වැනිදා සිට ශ්‍රී ලංකාවට ළඟාවීමෙන් පසුව පරීක්‍ෂණ කටයුතු ආදිය අවසන් කර 10 වැනිදා වන විට බෙදාහැරීම ආරම්භ කළ හැකි බව කී අමාත්‍යවරයා ඉන් පසුව අඛණ්ඩව ඉන්ධන ලැබුණහොත් එම ඉන්ධන මාසයකට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.



ඉන්ධන නැව් 10 ක් ගෙන්වීම සඳහා සැලසුම්කර ඇතැයි කී ඇමැතිවරයා ඒ සඳහා පෙර ගෙවීම් දෙකක් මේ වන විට සමාගම් දෙකකට කර ඇති බව සඳහන් කළේය. වත්මන් ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණ කිරිමට ඩොලර් පනස් අට කෝටි හැත්තෑ ලක්ෂයක් සොයාගැනීම තවදුරටත් අභියෝගයක් බවද හෙතෙම කීවේය. ‘විටෝල්” සමාගම ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක නෞකාවක් මේ මස 11 සහ 14 අතර කාලයේ එවීමට පොරොන්දුවීම මත ඩොලර් දෙකෝටි අසූ ලක්ෂයක් පසුගිය 30 වැනිදා තැන්පත් කළ අතර තවත් ඩොලර් හාරකෝටි අනු ලක්ෂයෙක් ඒ සඳහා මේ මස 8 වැනිදා තැන්පත් කළ යුතු බව අමාත්‍යවරයා පැවැසීය. අයි.ඕ.සී. එකගතාව පළකර තිබෙන නෞකා පහෙන් පෙට්‍රල් නෞකාවක් මේ මස 22 සහ 23 දින දෙක තුළ ශ්‍රී ලංකාවට එවීමේ එකගතාව මත එම නෞකාවට අත්තිකාරම් වශයෙන් ඩොලර් කෝටි දෙකක පමණ මුදලක් පසුගිය 30 වැනිදා ගෙවා ඇති බවත් තවත් ඩොලර් කෝටි දෙකක පමණ මුදලක් 8 වැනිදා ගෙවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. මෙම 'කොරල්” සමාගම මේ මස 8 හෝ 9 එවීමට නියම කර ඇති ඩීසල් මෙට්‍රිටොන් 40,000 ක් රැගත් නෞකාවට පෙර ගෙවීමක් කර නොමැති වුවද එයට ඩොලර් හයකෝටි හැටපන් ලක්ෂයක් ගෙවීමට ඇති බව කී අමාත්‍යවරයා මේ මස 15 සහ 17 යන දින තුළ ලබාදිය හැකි යැයි අයි.ඕ.සී. සමාගම දන්වා ඇති ඩීසල් නෞකාවට සියයට 50 ක පෙර ගෙවීමක් හෙට දිනයේ ද, ඉතිරි සියයට 50 බදාදා ද ගෙවීමට තිබුණ ද ඉන් සියයට 30 ක් පමණ ගෙවීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටින බව පැවසීය.



මෙම නෞකාවලට අමතරව පෙට්‍රල් නැවක් ලබන 10 වැනිදා හෝ ඊට පෙර ගෙන්වා ගැනීමට නව සැපයුම්කරුවන් තිදෙනකුට ලිපි නිකුත් කර ඇති බවත්  මැල්සියාවෙන් ලබාදීමට පොරොන්දු වී ඇති පෙට්‍රල් මෙට්‍රික්ටොන් 50,000 සහ භූමිතෙල් මෙට්‍රික්ටොන් 10,000 ලබාගැනීමේ අපහසුතාව නිසා පෙට්‍රල් මෙට්‍රික්ටෝන් 30,000 ක් සහ 20,000 ක් ලෙස එවීමට කටයුතු කරන බවට එම සමාගම් දැනුම්දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එම ඉන්ධන තොගවලට අමතරව ඩොලර් තුකෝටි හැටලක්ෂයක් වටිනා දැවිතෙල් නෞකාවක් මේ මස 10 සහ 11 අතර කාලයේ ද, බොරතෙල් මෙට්‍රික්ටොන් 135,000 ක් රැගත් නෞකාවක් මේ මස 15 වැනිදා ද, තවත් බොරතෙල් නෞකාවක් අගෝස්තු මස 12 වැනිදා ද, මෙරටට ළඟාවීමට නියමිත බව කී අමාත්‍යවරයා තවත් බොරතෙල් ඇණවුම් 7 ක් මේ වන විට කර ඇති බව ද කීය.

අයි.ඕ.සී. සමාගම මිල ගණන් නොදුන් තවත් ඩීසල් නෞකාවක් සහ පෙට්‍රල් නෞකා දෙකක් මේ මස අග හෝ අගෝස්තු මස ගෙන්වීමට නියමිත බවත් එම නෞකා තුන හැර සනාථ කළ ඉන්ධන නෞකාවට ඩොලර් තිස්ඵක්කෝටි හැටලක්ෂයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව ගබඩා සංකීර්ණයේ ඊයේ (23) පෙරවරු වන විට ඩීසල් මෙට්‍රික්ටොන් 5,274 ක් පැවති අතර මීට දින තුනකට පෙර අයි.ඕ.සී.යෙන් ඩොලර් මිලියන 11 ක් ගෙවා ඩීසල් මෙට්‍රික් ටොන් 7500 ක් ලබාගැනීමත් සමඟ ඒ අනුව ඩීසල් මෙට්‍රික්ටොන් 12,774 ක සංචිතයක් පවතින බවද ඔහු කීය. ඊට අමතරව ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන්  1414 ක් ද, ඔකටේන් 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2647 ක් ද, සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් 233 ක් ද, ගුවන් යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 500 ක් ද, දැවිතෙල් මෙට්‍රික්ටොන්  29,000 ක් ද, සංස්ථාව සතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා qatar රාජ්‍යයේ කළ සංචාරයේ ප්‍රතිපල ඉදිරියේදී ලැබෙනු ඇති බව කී අමාත්‍යවරයා ප්‍රතිඵල ලබාගැනීමට නම් සාකච්ඡා කළ යුතු බවත් මීට පෙර ගෙන්වා ගැනීමට නොහැකි වූ ඉන්ධන නෞකාවට කිසිදු මුදලක් ගෙවා නොතිබුණු බවත් ඔහු කීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ණයවර ලිපියක් සහ අත්තිකාරම් ගෙවීමක් යන දෙකේ වෙනස පිළිබඳව අවබෝධයක් නොමැතිවීම පිළිබඳව කනගාටු වන බව කී අමාත්‍යවරයා පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ යම් දුර්වලතාවක් පෙනීම නිසා ඉදිරි ඇනවුම් කිරිමට ලබන සිකුරාදා දක්වා කාලය දුන් බව ද පැවැසීය.