jackson-anthony-elephant-attack

අනුරාධපුර තලාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ. එහිදී ඔහුට ශල්‍යකර්මයක් කිරීමට නියමිතය.


අද දිනයේදී සැත්කමක් සිදු කරන බවත් හෙට දිනයේදී ඔහුට තවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
ඊයේ (02) රාත්‍රී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය තලාව මොරගොඩ ප්‍රදේශයේ හතේ කණුව ආසන්නයේ දී වන අලියෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී සහ කැබ් රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණි. ඒ අතර ජැක්සන් ඇන්තනි මහතාගේ සොයුරකු වන සමන් ඇන්තනිද සිටින බව වාර්තා වේ.
අනතුරත් සමග කැබ් රථය මතට වන අලියා ඇද වැටී ඇති අතර ඉන් කැබ් රථයට දැඩි හානි සිදුව ඇත.

තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.

ගල්ගමුව ප්‍රදේශයේ සිදුකළ රූගත කිරීමක් අවසන් කර සිය නවාතැන්පොළ සඳහා අනුරාධපුරට එමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක් වී ඇති බවටයි වාර්තා වන්නේ.
තලාව පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.