gotabaya-where-is-now

ඊයේ ආණ්ඩු පෙරළන විරෝධතා වලින් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිටින්නේ කොහේදැයි තවම පැහැදිලි නැත, නමුත් ආරක්ෂක නිලධාරීන් පවසන්නේ සෙනඟ ඔහුගේ නිවසට ඇතුළු වීමට පෙර ඔහුව ඉවත් කළ බවයි.

"ජනාධිපතිවරයා ආරක්‍ෂාවට රැගෙන ගියා" යැයි නම් නොකළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් මේ ගැන විමසීමකදී ජාත්‍යන්තර AFP පුවත් ඒජන්සියට බවසා තිබේ. "ඔහු තවමත් ජනාධිපති, ඔහු හමුදා ඒකකයක් විසින් ආරක්ෂා කරනවා." යයි නිලධාරියා දන්වා ඇත.



ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය තවමත් විරෝධතාකරුවන් විසින් අල්ලාගෙන ඇති අතර පිරිස පවසන්නේ ජනපති ඉවත්ව යන බව කියන 13 වනදා එය සිදුවනතුරු තමන් රැඳී සිටින බවයි.
මේ අය ඉවත් කිරීමට ආරක්ෂක අංශ මේ දක්වා කිසිදු උත්සාහයක් ගෙන තිබුනේ නැත.

ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායකයින්ට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටින ස්ථානය පිළිබඳව දැනුවත් කර නොතිබු අතර කතානායකවරයා ඔහු සිටිනතැන දන්නා නිසාදෝ පක්‍ෂ නායකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බව පවසා පසුව ජනපතිගේ ප්‍රතිචාරයද දන්වා තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට ප්‍රසිද්ධියට පත් කළේ ඉරාන තානාපතිවරයා සමඟ පෙරේදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවයි. එතැන් සිට ජනාධිපතිවරයාගේ කිසිදු තොරතුරක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර නොමැත.

ඊයේ කටුනායක අධිවේගයේ වේගයෙන් ගමන් කළ ප්‍රභූ රථ හා ආරක්ෂක රථ සම්බන්ධයෙන් කසුකුසුවක් මතුවූයේ ජනපති පළායන ඒවාද යන සැකය සමගයි. කෙසේ වෙතත් පසුව ආරංචිවී තිබෙන්නේ ඒවා කටුනායකට ගමන් කළේ ප්‍රභූවරයෙකු රටින් පිටට රැගෙන යාමට නොව විදෙස්ගතව සිට ඊයේ දිවයිනට පැමිණි ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා කටුනායක සිට සිය නිවසට කැටුව ඒමට බවයි.



ඊයේ කොළඹ වරායෙන් පිටව ගිය නාවුක හමුදාවට අයත් නැව් දෙකෙන් පිටව ගියේ කවුදැයි තවම නිශ්චය වශයෙන් ප්‍රකාශ කර නැත. ඒවායේ බොහෝ විට රාජපක්ෂ පවුලට සම්බන්ධ අය හා ඥාතීන් සිටින බවට තොරතුරු වාර්තා විය.
මේ වනවිට දේශපාලනඥයින් 200 කට ආසන්න පිරිසක් හදිසියේ විදෙස්ගතවී ඇතැයි ඉරිදා ජාතික පුවත්පතක් මගින් අනාවරණය කර තිබේ.