gotabaya-maldives

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.00 පැමිණි එම ජෙට් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
රාජපක්ෂ පවුල සමග හිතවත් මාල දිවයිනේ කතානායකවරයා මෙම අවස්ථාවේ ඔහුට රටින් පිටවීමට උදව් කර ඇත.
අඟහරුවාදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ ඇන්ටනොව්-32 ශ්‍රී ලංකා හමුදා ගුවන් යානයේ මගීන් හතර දෙනෙකු අතර 73 හැවිරිදි නායකයා, ඔහුගේ බිරිඳ,  ආරක්ෂකයන් ද සිටි බව ආගමන විගමන නිලධාරීන් AFP වෙත පැවසීය.සොයුරා බැසිල් ද අද දින පිටත්වූ බවක් බීබීසීය වාර්තාකර තිබේ.

"ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රා තබා ඇති අතර ඔවුන් විශේෂ ගුවන් හමුදා ගුවන් යානයට ගොඩ වූවා" යැයි ක්‍රියාවලියට සම්බන්ධ ආගමන නිලධාරියෙක් පැවසීය. රාජපක්ෂ මාලදිවයිනට පැමිණ ඇති බව ක්ෂණික තහවුරු කිරීමක් තවම සිදු කර නැත.

මාලදිවයිනට ගොඩබෑමට අවසර දීම සම්බන්ධයෙන් ඇති වූ ව්‍යාකූලත්වය හේතුවෙන් යානය ගුවන් ගත කිරීමට නොහැකිව පැයකට අධික කාලයක් ගුවන් පථ පාර මත රඳවාගෙන සිටි බවද ගුවන් තොටුපළ බලධාරීහු පවසති.

"කනස්සල්ලට පත් වූ අවස්ථා කිහිපයක් තිබුනා, නමුත් අවසානයේ සියල්ල සාර්ථක වුණා. ගුවන් යානය මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබෑමට නියමිතයි." ගුවන් තොටුපල නිලධාරියෙක් AFP වෙත පැවසීය
ඊයේ (12) දහවල් වනවිට රටින් පිටව යාමේ 5 වන අසාර්ථක උත්සාහයේ නිරතවූ ගෝඨාභය රාජපක්ෂ රටින් ආරක්ෂිතව පිටව යනතුරු තමන්ට පොරොන්දුවූ ආකාරයට 13 වනදා ඉල්ලා අස්වන්නට බැරි බව දන්වා තිබුණි. කෙසේ වෙතත් 13 පාන්දරින්ම ඔහු පිටව ගිය නිසා
මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඇසළ පෝදා (13දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
ජනාධිපතිවරයා අද ඉල්ලා අස්වෙන බව තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 09 වැනිදා සවස ප්‍රකාශ කළ අතර 11 වනදා ඉල්ලා අස්වීමේ ලිපි ශීර්ෂය ඔහු වෙත ලබාදුන් බවද පැවසිණි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම අද (13) පෙරවරුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ  ඉල්ලා අස්වීමේ පණිවිඩය කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සූදානමින් සිටී.



මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධුර කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වූ ප්‍රථම සහ එකම ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස ගතවනු ඇත.


2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ඡන්ද හැටනමලක්ෂ විසිහතර දහස් දෙසීය පනස් පහක් (6,924,225) සහ සියයට 52.25ක ප්‍රතිශතයක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.

2019 නොවැම්බර් 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහාසෑය පරිශ්‍රයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.



ඒ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
යුද්ධය ජය ගැනීම වෙනුවෙන් රාජපක්ෂ සමාගම විශාල කාර්ය භාරයක් ඉටු කළ නමුත් යුද්ධයෙන් පසු සංවර්ධනය මුවාවෙන් විශාල අනවශ්‍ය ව්‍යාපෘති අරඹමින් විවිධ ගනුදෙනු සිදු කිරීම හා කොමිස් කොල්ලකෑමේ දැවැන්ත ව්‍යාපාරයක නියැළුණ බවටත් ඒ නිසා රට බංකොලොත්වූ බවටත් චෝදනා තිබේ.
ජනතා අරගලයක් මගින් එළවා දැමුණ පළමු ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂත් එලෙස එළවා දැමුණ පළමු අගමැති බවට ඔහුගේ සොයුරා වන හිටපු අගමැති මහින්ද රාජපක්ෂත් පත්වීම දෛවෝපගතය.