gota-go-home-parliament

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වූයේ අගමැති රනිල් විශේෂ කතාවක් කරද්දී ඒ අතරතුරය.
පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයාව සභානායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබිණ.
 රනිල්  තොරතුරු ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිවරයා එම කතාවට සවන් දී සි අතර කතාවේ අග භාගයේදී සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට "ගෝ හෝම් ගෝටා‘ යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන එක දිගට විරෝධතාවයක යෙදීම නිසා සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.


ජනපතිවරයා ඉදිරිපිටදීම ‘ගෝහෝම්‘ විරෝධයක් එල්ලවූ පළමු අවස්ථාවද මෙය විය.

 උණුසුම්කාරී තත්වය හේතුවෙන්  සභාවේ කටයුතු පාලනය කරගත නොහැකිවීමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සභාව විනාඩි දහයකට කල් තබන්නටද සිදුවිය.
විපක්ෂ විරෝධතාව ආරම්භයේදී  ජනාධිපතිවරයා ඒ දෙස සිනාසෙමින් බලා සිටි අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු "වී වෝන්ට් ගෝටා" යනුවෙන් කෑ ගැසූහ.
හිටපු අමාත්‍ය එස් බී දිසානායක  ජනාධිපතිවරයා අසලටම පැමිණ එක් අතක් උස් පහත් කරමින් "වී වෝන්ට් ගෝටා" යනුවෙන් එක දිගටම කෑගැසුවේය. කලකින් පාර්ලිමේන්තුවට ආ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අතක් ඔසවා ජනාධිපතිවරයාට යමක් පවසා සිටියේය.

උද්ඝෝෂණය මෙසේ පැවැත්වෙන අතරේදී ජනාධිපතිවරයා පෙරවරු  10:30 ට පමණ සභා ගැබෙන්  පිටවී දැනට පදිංචිව සිටින‘ගෙදර‘ බලා පිටව ගියේය.