fuel-bus-issue

ඉන්ධන හිඟය හේතුවෙන් හා බස් රථවලට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබානොදීම හේතුවෙන් දුරගමන් සේවා හා කෙටිගමන් සේවා බස් රථ සේවාව දැඩි අර්බුදයට ලක් වී තිබෙන බව බස් සංගම් සඳහන් කරයි. 

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළත් එය විධිමත් ලෙස සිදුනොවන බවද එම සංගම් පවසා සිටියේය. පිරවුම්හල්වල දින ගණනාවක් පෝලිමේ සිටියත් වරකට දුරගමන් සේවා බස් රථවලට ලැබෙන්නේ ලීටර් 75ක් පමණක් බවත්, කෙටි ගමන් සේවා බස් රථවලටද හිමිවන්නේ ලීටර් 40ක් පමණක් බවත් අත්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.දෛනිකව අන්තර් පළාත් බස් රථ ගමන්වාර 2,800ක් සිදු කළ යුතු බවත්,

එහෙත් මේ දිනවල දෛනිකව සිදුවන්නේ ගමන් වාර 300ක ප්‍රමාණයක් බවත් එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

මෙම සමස්ත ගමන්වාරවලින් 1,700ක් පමණ දෛනිකව පිට ප්‍රදේශවල සිට කොළඹට පැමිණීම හා කොළඹින් පිටවීම සිදුවන බවත්, එහෙත් මේ වන විට එම ප්‍රමාණය 200ක් දක්වා පහත වැටී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේක්වාව තුළ බස් රථ 3,200ක් පමණ ලියාපදිංචි වී තිබෙන බවත්, පවතින තත්වය නිසා අන්තර් පළාත් බස් හිමියන් සියලුම දෙනා දැඩි ලෙස අසරණ වී සිටින බවත් හෙතෙම සඳහන් කළේය. අත්තර් පාළාත් බස් රථයකට එක්වරකට ආසන්න වශයෙන් ඩීසල් ලීටර් 160-200ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්,

එසේ තිබියදී වරකට ලීටර් 75ක් ලබාදීම තුළින් බස් රථ ධාවනය කිර්මට නොහැකි බවත් සරත් විජිත කුමාර මහතා පවසා සිටියේ. මේ නිසා අන්තර් පළාත් බස් රථ සඳහා ඩීසල් ලබාදීමට රජය මෙම සතිය තුළ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් දැනට ධාවනය වන බස් ගමන් වාර ප්‍රමාණයවත් ඉදිරි දිනවල ධාවනය කිරීමට නොහැකි වන බව ඒ මහතා සඳහන් කළේය. ඉන්ධන හිඟය හේතුවෙන් ඊයේ (25)දා දිනයේදී කෙටිගමන් සේවා බස් රථ 13,000ක ප්‍රමාණයෙන් ධාවනය වූයේ බස් රථ 5,000කට ආසන්න සංඛ්‍යාවක් බවත්,



පාසල් ආරම්භ කර තිබෙන නිසා මෙම බස් රථ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.පවතින ඉන්ධන හිඟය නිසා හා වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා අද (26දා) දිනයේදී බස් රථ 4,000ක්වත් ධාවනය කිරීමට නොහැකි වන බවත්, ඉන්ධන නිසි ලෙස ලබාදීමට කටයුතු කළහොත් පෞද්ගලික බස් හිමියන් විසින් උදේ කාලයේදී හා පාසල් අවසන් වන කාලයේදී විශේෂ පාසල් බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබෙන බවත්

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. මෙමපාසල් ළමුන් ඉලක්ක කරගත් ප්‍රවාහන කටයුතු සිදුකිර්ම පිළිබඳ අද (26දා) දිනයේදී ප්‍රවාහන බලධාරින් සමග සාකච්ඡා කර අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින ඉන්ධන පෝලිම් නිසා රිය අනතුරු සිදුවීම් පවා වාර්තා වන බවත්, මේ නිසා පෝලීම් අවසන් කිමට කඩනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ)