dhanis-ali-arrested

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගියකු සිය ගමන යාමට සූදනම්ව සිටි අවස්ථාවක පිරිසක් පැමිණ බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගෙන යාමට උත්සාහ දරන අවස්ථාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.
අද සිදුවූ බව කියන මෙම සිද්ධියෙන් පසු එලෙස අල්ලාගත්තේ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළුවූ අරගලකරුවෙකු වන ධනිෂ් අලී බවට ප්‍රචාරය වේ.
මෙම පුද්ගලයාට සංචාරක තහනමක් පනවා ඇති බව කියමින් ගුවන් යානයෙන් පිටතට ගෙන යාමට උත්සාහ කරන නමුත් කිසිදු අවසරපතක් නැතිව ඔහු අල්ලාගෙන යනු හඳුනාගන්නට ලැබේ.
අවට අය ඔහු වෙනුවෙන් කතාකරන නමුත් බලධාරීන් ඔහුව රැගෙන යාමට ඉඩදේ

පසුගිය 13 වනදා අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාවැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් පැවැත්වෙන බව පමණක් ඊයේ 25 කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ධනිස් අලී සහ මාධ්‍යවේදී කැලුම් අමරසිංහ යන මොවුන් ගැන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරීයේ ඊයේ (25) පොලිසිය කරුණු වාර්තා කළ නමුත් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කර නොතිබුණි.



ජාතික රූපවාහිනියට කඩාවැදී එහි කාර්ය මණ්ඩලයට තර්ජනය කොට සජීවී රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වූ අරගලයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු බව කියන අද අත්අඩංගුවට පත් පුද්ගලයා අරගලයේ පෙනී සිටි ආකාරයට වඩා වෙනස් ලෙස කොන්ඩය හා රැවුල කපා සිටිනු හඳුනාගන්නට ලැබිණි.
ඔහු ඩුබායි බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට නැගී සිටිය දී රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.
රොෂාන් ඩනිෂ් අලි නමින් මැල්වත්ත ඉලුකේවෙල වෑඋඩ ලිපිනයේ සිට ඔහු ගුවන් ටිකට්පත වෙන්කර තිබී ඇත.
පුද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවකු වශයෙන් සේවය කර ඇති ඔහු අවසන්වරට පදිංචිව සිට ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ බිරිඳගේ නිවසේ ය.
මොහුගේ පියා මුලින් දෙමළ ජාතික පුද්ගලයෙකු වන අතර 1980 වසරේදී විවාහ වීමෙන් පසු ඉස්ලාම් ආගමට බැඳී ඇතැයිද පොලිසිය පවසයි.
මීට වසර හතරකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කර ඇති අතර කාලයක් එක්සත් ජාතික පක්ෂයට පසුව පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධව ද මොහු කටයුතු කර ඇත.
මහින්ද රාජපක්ෂ ජනපති සමයේ නිල් බලකායේද ක්‍රියාකාරිකයෙකුවූ බව කියන ඔහු නාමල් රාජපක්ෂ සමග සෙල්ෆි ඡායාරූප වලටද පෙනී සිට ඇති අයෙකු වූ බැවින් ඔහු ගැන සැකයක් සමාජ ජාලා තුළ මින් පෙර ඇති විය.

ජුලි 13 වනදා රූපවාහිනිය වැටළූ අවස්ථාවේ ඔහු සජීවී කථාබහකට එක්වූ නිසා බොහෝ අය ඔහු ගැන සෙවූ අතර පසුව නිල් බලකා සම්බන්ධය හා වෙනත් හේතු මත අරගල භූමිය ඔහුව ප්‍රතික්ෂේප කළ බවත් 19 වනදා අරගල භූමියට ගිය අවස්ථාවේ පන්නා දැමූ බවටත් ආරංචි පළ විය.

රූපවාහිනියට කඩාවැදීම සම්බන්ධ නඩු විභාගයක් යන බව සැලවී ඔහු රටින් පළායන්නට උත්සාහ දරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

පෙර ලිපිය
ජාතික රූපවාහිනියට කඩා වැදීම ගැන හා පිරිසට සංග්‍රහයක් කළ අය ගැන පරීක්ෂණ

ඔහු අත්අඩංගුවට ගන්නට සූදානම් වන අවස්ථාවේ ගුවන් යානය තුළ දර්ශන පහතින්