danish-ali-arrested-police

ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඊයේ (26) අත්අඩංගුවට ගත් අරගලකරු ධානීෂ් අලි මේ වන විට කුරුදුවත්ත පොලීසිය භාරයේ පසු වන අතර, අද (27) පෙරවරුවේ ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබුණි.
31 හැවිරිදි කුරුණෑගල - වෑබඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අද අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.



ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව යාමට අසුන් ගෙන සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ
අත්අඩංගුවට ගනු ලැබු අතර ගුවන් යානයේ සිටි මගීන් ඊට විරෝධය පළ කර තිබුනි.
පසුව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූයේ ඔහු වරෙන්තු නැතිව අල්ලාගත් කතාවකි. නමුත් පොලිසිය ඔහු නඩු කිහිපයක සැකකරුවෙකු බවට නිවේදනයක් නිකුත් කර තිබුණි.

කොටුව සහ ගාලුමුවදොර ප්‍රදේශවල අරගල භූමියේ කැපී පෙනෙන චරිතයක්ව සිටි ධනිෂ් අලී අරගලකරුවන් කොටසකගේ උදහසට ලක්ව තිබුනේ ‘නාමල් රාජපක්ෂගේ ඉත්තෙකු‘ යයි දක්වමිනි.



අද ඔහුව පොලිසිය රැගෙන යන අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් තමා පැනයන්නට උත්සාහ නොකළ බවත් ලෝකයට ශ්‍රී ලංකාවේ තත්වය දන්වන්නට ඩුබායි යමින් සිටි බවත් කීය. මාධ්‍යවේදියෙකු ඇසුවේ අධිකරණය මගහැරියා නේද යනුවෙනි. ඔහු කියා සිටියේ ඔහුට අධිකරණයෙන් කැඳවීමක් ලැබී තිබුනේ නැති බවයි.
කොන්ඩය රැවුල් කැපුවේ ඇයිදැයි විමසූ විට කියා සිටියේ නිවසින් කපන්න කියූ නිසා එසේ කළ බවයි.