තෙල් සංස්ථාව විසින් සෘජුවම පාලනය කරන පිරවුම්හල් 225ක ප්‍රමාණයෙන් පිරවුල් 200ක් ඉන්දීය ඔයිල් සමාගමට ලබාදීමට සැලසුම් කරමින් තිබෙන බව තෙල්, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.මේ අනුව ලබන මාසය වනවිට පිරවුම්හල් 100ක් හා ඉන්පසුව තවත් පිරවුම්භල් 100ක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්,

මෙම පිරවුමහල් 200ක් ලබාදුන් පසු සංස්ථාවට සෘජු අයිතිය හිමි වන්නේ, 25ක් පමණක් බවත් එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. මේ අනුව දැනට ඉන්දීය ඔයිල් සමාගම සතුව තිබෙන පිරවුල් 210ක ප්‍රමාණය 410ක් දක්වා ඉහළ යන බවත්, ඉන් පසුව තෙල් ඒකාධිකාරිය ඉන්දියාව සතු වන බවත් ඒ මහතා පවසා සිටියේය. ඉදිරියේදී තෙල් නැව් එන බවට විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ සිදුකළද, අදාළ නැව් මිලදී ගැනීම සඳහා ඩොලර ප්‍රමාණයන් නොමැති බවත්, මීට පෙරත් විෂය භාර ඇමතිවරයා තෙල් නැව් එන දින සඳහන් කළත්, ඒ කිසිදු අවස්ථාවක තෙල් නැව් පැමිණි නැති බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

එහෙත් ඉන්දීය සමාගමට අයත් තෙල් නැව් කිහිපයක් ඉදිරි දිනවල මෙරට පැමිණෙන බවත්, ඒ හරහා රට පුරා තෙල් බෙදාදීමට නියමිතව තිබෙන අතර, අදාළ කටයුත්ත වෙනුවෙන් මේ ආකාරයට පිරවුම්හල් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.සංස්ථාව සතුව තෙල් නොමැතිව තිබියදී ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ බවත්, මේ අනුව ඉහළ දැමූ මිලට ඉන්දීය සමාගම මේ වනවිට ඉන්ධන බෙදාහැර්ම සිදුකරන බවත් ආනන්ද පාලිත මහතා පැවසීය. මෙරටට ඉන්ධන නැව් මිලදී ගැනීම සඳහා ඩොලර් තිබෙනවා නම්, මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳ රටට හෙළිදරව්වක් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් දේශපාලනඥයන්ගේ කතාවලට මෙරට ජනතාවට තවදුරටත් රැවටීම සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.මීට අමතරව රට තුළ පෞද්ගලික අංශය විසින් පාලනය කරන පිරවුල් 800ක් පවතින බවත්, මේ සියලුම් ස්ථානවලට සංස්ථාවෙන් තෙල් ලබාදෙන අතර, එහෙත් පවතින ඉන්ධන හිඟය නිසා මෙම ස්ථානවලට සති දෙකක කාලයක සිට ඉන්ධන ලබාදී නොමැති බවත් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් සදහන් කළා.