අයිඕසී පිරවුම් හලකින් ඉන්ධන ලබාගැනීමේ අටියෙන් ඊයේ (4) රාත්‍රී සිට අද උදෑසන දක්වා කොළඹ 8 බොරැල්ල ප්‍රදේශයේ පෝලිමක රැඳෙමින් වාහනයේ සිටි පුද්ගලයෙකු සිය රථය තුළදීම මියයාමේ සිද්ධියක් අද (5) වාර්තා විය.


පෝලිමේ වාහන ඉදිරියට යද්දී ඔහුගේ වාහනය ඉදිරියට නොයාම ගැන පසුපස නවතා තිබූ වාහනවල අය විමසිලිමත්වීමේදී ඔහු රථය තුළ සිටියදීම මියගොස් ඇති ආකාරය හඳුනාගෙන ඇත. මුලදී සිතා ඇත්තේ ඔහු වාහනය ඇතුලේ තද නින්දක සිටිනු ඇති බවයි.

නමුත් පිරිස එක්වී කෙතරම් කීද්දුවත් අවදි නොවූ නිසා පොලිසියට දන්වා ඇත. පොලිසිය පරීක්ෂා කරද්දී ඔහු රියදුරු අසුන තුළම මියගොස් සිටියේය.
සිද්ධියෙන් මියගිය අය ගැන පෝලිමේ සිටි අයෙකු පැවසූවේ ඊයේ රාත්‍රී 3.45 ට පමණ ඔහු පැමිනි බවත් රටේ ප්‍රශ්න ගැන තමා සමග කතා කළ බවත්ය. අනතුරුව තමාට ප්‍රෙෂර් ඇති බව ද ඊට බෙහෙත් ගැනීමට නියමිතව සිටි බවද මියගිය අය කියා තිබේ. උදෑසන 8 ට පමණ ඔහු මියගොස් සිටි බව පිරිස හඳනාගෙන තිබුණි.
මෙලෙස මියගිය තැනැත්තා පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු ගොතටුව පදිංචි සූජීව විකුම් ගුණරත්න නමැති 60 හැවිරිදි අයෙකු බව දන්වා ඇත.
මියගිය අයගේ දේහය ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

වාහන තුළ දිගු වේලා රැඳී සිටීමේදී අධික උෂ්ණත්වය, ඔක්සිජන් හිඟකම, ආතතිය වැනි ගැටලුවලට මුහුණ පාන බවට අනතුරු අඟවා ඇති අතරම වාහන තුළ දිගු වේලා රැඳී සිටින නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට සිය සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.