
බසයෙන් බැස බඩු මල්ලද රැගෙන අතදරුවකු වඩාගෙන නිවසට ගමන් ගත් එක් දරු මවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා ඊයේ (04) දහවල් කාලයේ දී මහ මග ඝාතනය කර සැකකරු පලා ගොස් ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි.
ඇය එලෙස නිවෙස කරා ගමන් ගත් අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි අයකු තොළඹුඇළ සීමාවේ දී ඇයගේ ගෙල බැඳි මාලය කඩා ගන්නා අවස්ථාවේදී කාන්තාව වෙස් වලා සිටි සැකකරු හඳුනාගෙන ඇති බවත් එසේ හඳුගැනීම නිසා සැකකරු මෙලෙස කාන්තාවගේ ගෙල කපා පලාගොස් ඇති බවත් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි. කාන්තාව අනතුරට පත්වෙන අවස්ථාවේදී අත දරුවා කෑ ගසා තිබේ. ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මිය ගිය කාන්තාවගේ මෘත දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මෙම අපරාධය සිදුකොට රන් මාලය කඩාගෙන පලාගොස් ඇති සැකකරු මේ වන විට හඳුනා ගෙන සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොල්පිතිගම පොලිසිය පවසයි.
-සිසිර කැලේගම-
Comments
Post a Comment
Your comment will be visible after approval