June-2022-saw-the-highest-revenue-in-a-month-from-garment-exports

ශ්‍රී ලංකා අපනයන ඉතිහාසයේ මාසයක් තුළ ඇඟලුම් අපනයනයෙන් උපයාගත් වැඩිම ආදායම පසුගිය ජුනි මාසයේදී වාර්තා වී තිබේ. එම මාසයේදී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 537ක ආදායමක් උපයා තිබේ.  එසේමමේ වසරේ පළමු මාස 06 තුළ ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක ආදායමක් උපයා ඇත.ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට (JAAF) අනුව, 2022 ජුනි මස කාර්ය සාධනය 2013 මාර්තු මාසයේදී ලබාගත් ඩොලර් මිලියන 504ක පෙර ඉහළම අගය ඉක්මවා ගොස් තිබේ. එසේහ්ම මෙම වසරේ මැයි මාසය හා සලකා බැලීමේදී ඇඟලුම් අපනයනයෙන් උපයා ඇති ආදායම 39%කින් වර්ධනය වී ඇති අතර,

පසුගිය වසරේ ජුනි හා සසඳා බැලීමේදී මෙම වර්ධනය 30%කි. 2019 වසරේ පළමු භාගයේදී ඇඟලුම් අපනයයෙන් ඇමෙර්කානු ඩොලර් බිලියන 2.62ක් උපයා තිබුණු අතර, මෙම වසරේ පළමු අර්ධයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක ආදායමක් උපයා තිබේ. 2021 වසරේ පළමු භාගයට සාපේක්ෂව මේ වසරේ පළමු භාගයේදී කර්මාන්තයේ වර්ධනය 20%ක් වෙයි. 2021දී ඇඟලුම් අපනයනය ඩොලර් බිලියන 5.43කි. ජුනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට කරන අපනයන 67.6%කින් එනම් ඩොලර් මිලියන 231.38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, යුරෝපා සංගමය වෙත (එක්සත් රාජධානිය හැර) කරන අපනයන 24%කින් ඩොලර්  මිලියන 158.48ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක්සත් රාජධානියට අපනයනය 16%කින් වර්ධනය වී ඩොලර් මිලියන 69.52ක් බවට පත්ව තිබේ. 2022 ජුනි මාසයේදී අනෙකුත් රටවලට අපනයනද වසරකට පෙර හා සැසඳීමේදී ඩොලර් මිලියන 77.27ක් දක්වා වර්ධනයක් වාර්තා කර තිබේ.

ආයෝජන මණ්ඩලය මෑතකදී ප්‍රකාශ කළේ දේශපාලන කැළඹිලි තිබියදීත් ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි කර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන බවයි. 2022 වසර සඳහා මෙම අංශයේ නව ආයෝජන සහ පුළුල් කිරීම සඳහා ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 76ක් වටිනා ගිවිසුම් අත්සන් කර ඇතැයි එම මණ්ඩලය පැවසීය.