army-hrcsl-galle-face

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක්  අද (22) දහවල් ගාලු මුවදොර අරගල භූමියට ගොස් නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදි. අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් හා යොදවා ඇති පොලිස් නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් තබාගන්නා ලදි.


ඉන්පසුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ තත්ත්වය පිරික්සීමටද ඔවුන් ගිය අතර ඊට පොලිසිය අවසර ලබාදී තිබුණි.

ගාලු මුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙන්ම  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති, කනඩා තානාපති, බ්‍රිතාන්‍ය තානාපති හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත මේ ගැන ට්විටර් පණිවිඩ නිකුත් කර හෙළා දැක තිබුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයි වාර්තාවේ.

අද උදෑසන සිට ජාත්‍යන්තරයේ සියලුම මාධ්‍ය මෙම ප්‍රහාරය නින්දිත ක්‍රියාවක් හා මානව හිමිකම් උල්ලංඝනය කරන්නක් ලෙස වාර්තා කළ අතර මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා ණය ආධාර වැඩසටහන් වලටද මෙමගින් බලපෑම් එල්ලවනු ඇතැයි අදහස් පළව තිබේ.