anura-kumara-speaks

ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ පැවැත්වූ කතාවකදී මෙසේ කීය

“පසුගිය ජුනි 27 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතාට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් යවා තිබෙන ලිපිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා. මේ ලිපියෙන් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරනවා.



ජූලි මාසයේ 05, 06 දෙදිනෙන් ආරම්භ වන කළු කොටි සැමරුම ඉලක්ක කරගෙන විදේශීය ඔත්තු සංවිධානයක මැදිහත්වීමෙන් උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බවට සඳහන් කර තිබෙනවා. “එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට ඒත්තු ගැන්වෙන පරිදි ක්‍රියාකිරීමට දැනටමත් යාපනය ප්‍රදේශය තුළ දේශීය හා විදේශීය ආයතනවල සේවය කරන ප්‍රභූවරුන්ට 05 සහ 06 දෙදින තුළ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව” දැනුම්දී ඇතැයි කියනවා. මේ සම්බන්ධ තොරතුරු ලැබුණු මාර්ගය සහ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි.

නමුත් ආණ්ඩුව එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කරන්නේදැයි බරපතළ සැකයක් තිබෙනවා. ඒ ලිපියෙන් “ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා, ජනතා විමුක්ති පෙරමුණත්, විරුද්ධ පක්ෂය නියෝජනය කරන තව දේශපාලන කණ්ඩායම්ද කටයුතු කරන බවට” තොරතුරු ඇතැයි සඳහන් කරනවා. මේක විහිළුසහගත ඉතාමත් විකට ලිපියක්. ආණ්ඩුව නිතරම උත්සාහ කරන්නේ සමාජය බියවද්දන්න. විවිධ දේශපාලන ව්‍යාපාරවලට විවිධ ලේබල් අලවන්න.



අප සහ අනෙකුත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ සම්බන්ධ කර තිබෙන මෙම ලිපිය අපේ පාර්ශ්වයෙන් බැහැර කරනවා. ආණ්ඩුවේ මේ විගඩම්වලට හසුවෙන්න එපා කියලා ජනතාවට අවධාරණය කරනවා. ජනාධිපතිවරයාත්, පොලිස්පතිවරයාත් අනුගමනය කරන මෙවැනි බොළඳ ක්‍රියාමාර්ගවලින් ජනතා විරෝධය යටපත් කළ නොහැකි බව අවධාරණය කරනවා. පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන විහිළු සපයන්නෙක් බවට පත්වෙන්න එපා කියලා අවධාරණය කරනවා. මේ ලිපියේ පිටපත් පොලිස්පතිවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාටවත් යොමු කර නැහැ. පොලිස්පති, ආරක්ෂක ලේකම් අතර පෞද්ගලික ගනුදෙනුවකට ලියන ලියුමක් වගෙයි.

මැයි 09 වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් තවමත් නිකුත් කර නැහැ. පොලිසිය සහ හමුදාව විශාල වශයෙන් යොදවා තිබියදී නිවෙස්වලට ප්‍රහාර එල්ල වුණේ කොහොමද කියන ප්‍රශ්නය මතුවී තිබෙනවා”