Police-have-not-handed-over-17.85-million-in-the-Presidents-House-to-the-court-yet-the-suspects-are-free

පසුගිය 09 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගෙන ගණන් කර පොලීසියට භාරදී තිබූ මුදල් රුපියල් 17850000 මේ දක්වා උසාවියට පොලිසිය භාර නොදුන්නේ මන්දැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (28) ඒ සම්බන්ධ නඩු විභාගයේදී විමසන ලද අතර වහාම ඒවා භාර දෙන ලෙස කොටුව පොලීසියට නියෝග කර තිබේ. එසේම මෙම මුදල් ගණන් කර පොලිසියට බාර දුන් සැකකරුවන් ඇප මත නිදහස් කිරීමටද නියෝග කර තිබේ.

ඒ මෙම මුදල් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන නීතීඥ සුනිල් වටගල සහ ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ සිදු කළ පැමිණිල්ලට අදාලව සති තුනක කාලයක් ගතවී ඇතත් මෙතෙක් එම මුදල් පිලිබඳව අධිකරණයට කරුණු වාර්තා නොකිරීමට අදාළව කරුණු දක්වා තිබුණි.


ඉකුත් 09 වනදා ජනාධිපති මන්දිරයේ සිටි අරගලකරුවන් විසින් රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස්දහසක (17,850,000) මුදලක් එලෙස කොටුව පොලීසිය වෙත භාරදී ඇති බව කොටුව පොලීසිය අධිකරණයට දන්වා තිබුණි.

එසේ භාරදී සති තුනක් ගතවී තිබුණද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් ප්‍රශ්න කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතර දෙනාද රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම සැකකරවන් සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය දන්වා සිටියේ ජනාධිපති මන්දිරය තුළ තිබී හමුවූ මුදල් පිරිසක් විසින් ගණන්කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන් ද සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවය.

මේ සම්බන්ධයෙන් නීතීඥ සුනිල් වටගල මෙසේ කීය.


"සැකකරුවන්ට එල්ල වූ චෝදනාව තමයි ජනාධිපති මන්දිරයේ හතරවන කාමරේ තිබිලා රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස් දහසක මුදලක් ඔවුන් බාරදීලා තියෙනවා මේ සිද්ධිය වෙලා තියෙන්නේ පහුගිය නම වැනිදා අරගලය සිද්ධ වෙච්ච දවසම තමයි මේ මුදල් ප්‍රමාණය බාර දීලා තියෙන්නේ ඊයේ දවසේ පොලිස් නිලධාරීන් ගිහිල්ලා මේ සැකකරු හතර දෙනාම අත්අඩංගුවට අරගෙන අද දවස ඉදිරිපත් කළේ.
 වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුන වගේ වැඩක් මේක. හොඳක් කරන්න හිතාගෙන ඒ සම්පූර්ණ මුදලම අපි අදාළ පොලිස් නිලධාරියාට භාර දීල තියෙනවා. ඒ බාර දුන්නට පස්සේ ඔවුන් අත්අඩංගුවට අරගෙන අද දවසේ අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා සැකයක් තියනව කියලා. විශේෂම කාරණය තමයි ගරු මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දුන්න නම වෙනිදා පොලිස්ථානය වෙත බාර දුන්නු මුදල් ප්‍රමාණය කිසිවක් අද වනතුරු අධිකරණයේ තැන්පත් කරලා නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 (1) වගන්තිය යටතේ එම මුදල හම්බ වූ වහාම අධිකරණයට දන්වලා මුදල් තැන්පත් කරන්න ඕන. හැබැයි අද වෙනතුරු එම මුදල් තැන්පත් කරල නැහැ. ගරු මහේස්ත්‍රාත්තුමා කොටුව පොලිස් ස්ථානාධිපති තුමාට වහාම එම මුදල් ගෙනල්ලා වාර්තාවක් එක්ක ගරු අධිකරණය තැන්පත් කරන්න කියලා කිව්වා. මෙච්චර දවසක් සති තුනකට එහා කාලයක් මෙම මුදල් තබා ගැනීම මුදල් අපගමනයක් වගේම වෙනත් සිද්ධියක් වෙන්න පුළුවන් කියලා අධිකරණය සැක කළා."