1983-black-july

1983 වසරේ දී ජූලි 24 වනදාවක සිදුවූ  වර්ගවාදී කැරැල්ල කළු ජූලිය අද දින සමරනු ලබයි.
කළු ජූලිය ආරම්භ වන්නේ එල් .ටී.ටි ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින රාත්‍රියේ  ඇති කළ සිදුවීමකි.
යාපනයේ ගුරුනගර් හමුදා කඳවුරෙන් පිටත්ව පලාලි මාර්ගය හරහා මාර්ග පරීක්ෂාවේ යෙදීමට, හමුදා නිලධාරීන් සහ සෙබළුන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රවාහනය කරමින් හමුදා ට්‍රක් රථයක් සහ ජීප් රියක් පිටත් වූ පසුව යාපනය විශ්වවිද්‍යාලය ආසන්නයේ දී ජීප් රිය ඉලක්ක කර අටවා තිබූ බිම්බෝම්බයක් පුපුරවා හැර තිබුණි.
ඊට හසුවූ ජීප් රියට බරපතල අලාභ හානී සිදුවූ අතර, මාර්ගය දෙපස සැඟව සිටි LTTE භටයින්  රථ දෙකටම නොනවත්වා පෙට්‍රල් බෝම්බ හා වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි. වෙඩි ප්‍රහාර මැද ට්‍රක් රථයෙන් ඉවතට පැමිණි භටයන්ට කොටි සාමාජිකයින් නැවත ප්‍රහාර එල්ල කර තිබුණි.


 සැඟවුණු සෙබළුන් දෙදෙනෙකු හැරුණුකොට, ඉතිරි සියලු සෙබළුන් මෙම සිද්ධියෙන් මරණයට පත්විය.
මෙලෙස මිය ගිය නිලධාරීන් ඔවුන්ගේ ගම්වලට රැගෙන ගොස් මිහිදන් කිරීම  සාමාන්‍ය සිරිත වුනත් මිනිසුන් ප්‍රකෝපකාරී වීම නැවැත්වීම  පිණිස මේ නිලධාරීන්ගේ සිරුරු කොළඹ කනත්තේ මිහිදන් කර තිබුණි . ඔවුන්ව මිහිදන් කිරීමට  නියමිත දිනයේ පැමිණි ප්‍රචණ්ඩකාරී මිනිසුන් විසින් දෙමළ මිනිසුන් සොය සොයා පහර දීමට පටන් ගෙන තිබුණු අතර දමිළ කාන්තාවන් දූෂණය කිරීමටද පටන් ගෙන තිබුණි
රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා දෙමළ කඩවල් නිවාස ගිනි තබන ලදි.
රජය පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර පොලීසියට හමුදාවේ සහය පැතීමටද සිදු වීය .

ඒ අතරින් සිදුවු අපකීර්තිමත්ම  සිදුවීම් වලින් එකක් වුයේ වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය  තුළ සිදුවු මහා මනුෂ්‍ය ඝාතනයයි .
මින් දිවි ගලවාගත් අය පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ද මීට සහය දැක්වු බවයි .  කැරලිකරුවන් අතට  සිර මැදිරිවල යතුරු පත්වීම  හේතුවෙන්  විශාල පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීය.



එවකට පැවති රජය විසින් ජාතිවාදී අපරාධකරුවන්ට එරෙහිව පියවර නොගත්තත්, ’83 ජූලි 30 වන දා නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය, හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙම කෝලාහල ඇවිලවූ බවට ප්‍රකාශ කරමින් තහනම් කරනු ලැබුණි. එම පක්ෂයන්හි නායකයින් රජය මගින් අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවනු ලැබිණි.. ඇතැම් නායකයින් සැඟව සිටි අතර, මාස දෙකක පමණ කාලයකට පසු ඇතැම් නායකයින් නිදහස් කර තිබුණි.

මෙම සිදුවීම් මාලාව ’88 – ’89 සමයේ දකුණේ ඇති වූ තරුණ කැ‍රැල්ලට මග පෑදූ බවද විශ්ලෝෂකයින් පෙන්වා ‍දී ඇත.එමෙන්ම මෙම සිදුවීම් නිසා ඉන්දියාව ලාංකික දෙමළ ත්‍රස්තවාදී සංවිධානවලට එරටදී යුධ පුහුණුව ලබා දීම සිදුකිරීම ඇරඹූ අතර, ඉන්දියාව, නෝර්වේ, හා ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් වලට ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට මනා හේතුවක් නිර්මාණය විය.

මේ සිදුවීම නිසා දෙමළවැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවල්වලට සංක්‍රමණය වී තිබෙන අතර දෙමළ වැසියන් 1000ක් පමණ සංඛ්‍යාවක් පමණ මියගොස් තිබුණි.
ඉතිහාසයේ සිදුවන බොහෝ සිදුවීම් වලින් පාඩම් ඉගෙන ගත්තා නම් අදවන විට සිදුවී ඇති බොහෝ විනාශයන් සිදු නොවන්නට ඉඩ තිබුණි.