yellow-cricket-sri-lanka-lasith-maling

ඕස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර අද පවත්වන්නට නියමිත අවසන් එක්දින ක්‍රිකට් තරගය නරඹන්නට එන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ඕස්ට්‍රෙලියානු පිලට ගෞරවයක් ලබාදීම පිණිස ඔවුනගේ නිල වර්ණය වන කහපාට අනුව යමින් කහ ඇඳුමකින් සැරසී ක්‍රීඩා පිටියට පැමිණෙන ලෙස ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල රැල්ලක් ඇති විය.




ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව අත් නොහැර ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රෙලියානු පිල තීරණය කිරීම මෙම ගොරවය ලබාදීමට හේතුව ලෙස සඳහන්වේ.
මේ වනවිටත් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 3-1 ලෙස ජයගෙන තිබෙන නිසා අද තරගය ජයගත්තත් නැතත් ශ්‍රී ලංකාවට තරගාවලිය ලෙස සැලකීමේදී ගැටලුවක් නැති පසුබිමක මෙලෙස කහපාටින් ඇඳ ඕස්ට්‍රෙලියානු පිලට වක්‍ර සහයෝගයක් ලබාදීමට ඇතැමුන් කැමති අතර ඇතැමුන් තේරුමක් නැති දෙයක් ලෙස අන්තර්ජාලය තුළ විවිධ අදහස් දක්වා තිබේ.
ඇතැමුන් පවසා ඇත්තේ කහ ඇඳුම් ඇඳිම ‘අරගලය‘ අමතක කරන්නට ප්‍රේක්ෂකයින් ක්‍රිකට් වෙත ඇඳබැඳ තබාගන්නට රජයට පක්ෂපාත මාධ්‍ය ඇතිකළ කෘත්‍රිම රැල්ලක් බවයි.


මේ අතර ශ්‍රී ලංකා පිලේ පන්දුයැවීමේ පුහුණුකරු ලසිත් මාලිංග මෙම ‘කහ ඇඳීමේ‘ රැල්ලට විරුද්ධව අදහස් දක්වා ඇත.

 ලසිත් මාලිංග අමතා දෙරණ නාලිකාවෙන් ඊයේ (23) මේ ගැන කළ විමසීමකදී ඔහු පවසන්නේ එම නාලිකාවෙන් කියන තුරු තමන් එවන් දෙයක් නොදැන සිටි බවයි.
එමෙන්ම ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටීම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමිණීම අතර සම්බන්ධයක් නැතැයිද ඉදිරියට පකිස්තානු පිල පැමිණීම සහ ආසියානු කුසලානය වෙනුවෙන් තවත් කණ්ඩායම් පැමිණීමට නියමිතව තිබෙන බවත් ඒ ඒ අවස්ථාවල ඒ ඒ වර්ණ ඇඳගෙන එසේ නම් සහය දීමට සිදුවනු ඇති බවත් කියා සිටින මාලිංග ලංකාවේ නිල් පැහැය ඇඳගෙන සහය දක්වනු වෙනුවට වෙනත් කණ්ඩායම් වල පාට අඳින එක නොගැලපෙන බව පෙන්වා දෙයි.
සමාජ මාධ්‍යවල යන සියලුදේටම පිළිතුරු දීමට තමන් කැමැත්තක් නොදක්වන බවද ඔහු කියා සිටියි.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පස්වන සහ අවසන් තරඟය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
මාලිංග කියූ දේ හඩ පටය පහතින්