south-africa-22-more-than-dozen-found-dead-in-south-africa-night-club

දකුණු අප්‍රිකාවේ ‘ඊස්ට් ලන්ඩන්‘ නමින් හඳුන්වන ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී සිසු සිසුවියන් 22 දෙනෙකුගේ මළ සිරුරු හමුවීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
මියගිය ළමුන් එරට පාසල්හි උසස් පෙළ විභාගය අවසන් වීම සැමරීමට සමාජ ශාලාවට ගොස් ඇති බව කියැවෙන අතර මරණ වලට හේතු මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිස් නිලධාරියෙකුට අනුව මියගිය දරුවන්ගේ සිරුරුවල කිසිදු තුවාලයක් දක්නට ලැබී නැත. සිද්ධියෙන් මියගිය සිසුන්ගේ වයස අවුරුදු 13-17 අතර අය බව පැවසේ.

බ්‍රිගේඩියර් තෙම්බින්කෝසි කිනානා මහතා පැවසුවේ Scenery Park අසල රාත්‍රී සමාජ ශාලාවක සිසුන් 22 දෙනෙකු මියගොස් ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ගැහැණු ළමුන් 8 දෙනෙකුගේ සහ පිරිමි ළමුන් 14 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. සමාජ ශාලාව තුළ තිබී මළ සිරුරු 17ක් සොයාගෙන ඇත. ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවන් 5 දෙනෙක් මිය ගියා. යනුවෙනි.

කිනානා පැවසුවේ සැක සහිත තත්ත්වයක් යටතේ සිදුවූ  මෙම මරණ වලට හේතුව සොයා ගනිමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වේ. මේ වන විට සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා ඇත. මූලික විමර්ශනවලින් පෙනී යන්නේ මෙම මරණය වස ශරීරගත වීමෙන් සිදු වූවක් බවයි.

G7 සමුළුවට සහභාගිවීම සඳහා ජර්මනියට ගොස් සිටින දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළකර තිබේ. ඔහු පැවසුවේ - වයස අවුරුදු 18 ට අඩු සිසුන් 22 දෙනෙකු මිය යාම ඇසීම කම්පනයට හේතු වූ බවයි.

එරට නීතී අනුව සමාජ ශාලාවක මත්පැන් පානය කළ හැක්කේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට පමණක් වන නමුත් සමාජ ශාලාවල හොර රහසේ මෙම නීති උල්ලංඝනය වන බව වාර්තාවී තිබේ.