sapugaskanda-uria

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ‘නැප්තා’ යොදා ගනිමින් යූරියා පොහොර නිපදවන ලද දැවැන්ත යන්ත්‍රාගාරය ඩුබායි රටට පරණ යකඩවලට අලෙවි කිරීම නිසා මෙරට තුළදී යූරියා නිපදවීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

පරණ යකඩවලට අලෙවි කරන ලද එම යන්ත්‍රාගාරය අද වන විට ඩුබායි රට තුළ පොහොර නිපදවීමේ කටයුතු සිදු කෙරෙන බවද ඔවුහු සඳහන් කරති.



මීට කාලයකට පෙර පොහොර නිෂ්පාදනය කිරීමේ සංස්ථාව නමින් ආයතනයක් මෙරට ස්ථාපිත කර පැවැති බවත්, එම සංස්ථාවේ යන්ත්‍රාගාරයේ මාස තුනක ක්‍රියාකාරිත්වය මගින් මෙරට වසරකට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය නිපදවන ලද බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල පැවසීය.

සපුගස්කන්ද පිරිපහදුව ආසන්නයේ අක්කර 200 ක භූමි ප්‍රදේශයක මෙම සංස්ථාව පිහිටා තිබූ බවත්, වායුගෝලයෙන් නයිට්‍රජන් ලබාගෙන, කාබන් දාමයෙන් හයිඩ්‍රජන් ලබාගෙන, පිරිපහදුවෙන් නිපදවෙන නැප්තා ලබාගෙන මෙම යන්ත්‍රාගාරයේදී යූරියා පොහොර නිපදවා ඇත. මෙම යන්ත්‍රාගාරයෙන් නිපදවන ලද යූරියා පොහොර මිටියක් 90 දශකයේදී මෙරට වෙළෙඳපොළේ අලෙවි කර ඇත්තේ රුපියල් 150 ක් වැනි මිලකටය.



එක්දහස් නවසිය අසූ ගණන්වල ඉතා හොඳින් ක්‍රියාකාරී මට්ටමක පැවැති මෙම යන්ත්‍රාගාරයේ නිෂ්පාදන ධාරිතාව වැඩි බව පවසමින් පසුකාලීනව වසා දමා තිබේ. මේ හේතුවෙන් එහි යන්ත්‍ර සූත්‍ර ක්‍රමයෙන් දිරායමින් පැවැති අතර, පසුකාලීනව එය පරණ යකඩවලට යන්ත්‍රාගාරය පිටින්ම ඩුබායි රටට අලෙවි කර ඇතැයිද අශෝක රංවල කීවේය.

මෙම යන්ත්‍රාගාරය ඩුබායිවල සවිකර ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය. මෙම යන්ත්‍රාගාරය මෙරටට ලැබී ඇත්තේ සෝවියට් සමූහ ආණ්ඩුවෙන් බවද පැවසේ.

(සාලිය කුමාර ගුණසේකර)