nittambuwa-tution-sir-incident

උපකාරක පංති ගුරුවරයෙකුගේ අසභ්‍ය ඡායාරූප තිබෙන බවට දුරකථනයෙන් ඔහුට තර්ජනය කොට ඒවා ප්‍රසිද්ධ නොකිරීමට නම් මුදල් ලබාදෙන ලෙසට කප්පම් ඉල්ලා සිටි බව කියන සැකකරුවෙකු ජූලි මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රුඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (29දා) නියෝග කළාය.  උපකාරක පංති ගුරුවරයෙකුට අදාළ අසභ්‍ය ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට ඔහුට තර්ජනය කොට කප්පම් මුදල් ඉල්ලා සිටිබව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච්.ආර්.එස් කුමාර මහතා කරුණු දක්වමින් පැමිණිලිකාර උපකාරක පංති  ගුරුවරයා සමග සැකකරු කාලයක් ළඟින් ඇසුරු කොට ඇති බවත් කිසියම් සිද්ධියක් හේතුවෙන් ඔහු සමග අමනාප වී පැමිණිලිකරුට අදාළ අසභ්‍ය ඡායාරූප සැකකරු භාරයේ තිබෙන බව පවසා එම ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට මුදල් ලබාදෙන ලෙසට දුරකථනයෙන් තර්ජනය කර ඇති බව කියා සිටියේය. එම පැමිණිලි විභාගයට දෙපාර්ශවය නිට්ටඹුව පොලිස් ස්ථානයට කැදවූ බවද ඒ අනුව පැමිණිලිකාර උපකාරක පංති ගුරුවරයා නීතිඥවරයෙකු සමග පැමිණි ප්‍රකාශයක් ලබා දී ආපසු වාහනයෙන් යමින් සිටියදී සැකකරු ප්‍රකාශයක් පවා නොදී පොලීසියන් පැනගොස් වාහනයකින් පැමිණිලිකරුගේ වාහනය ලුහුබැද නිට්ටඹුව නගරයේදී නැවත තර්ජනයකොට ඇති බව පරික්ෂණවලදී හෙළි වී ඇති බවද පොලිස් කොස්තාපල්වරයා පවසා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අයේෂා කුමාරී මහත්මිය කරුණු දක්වමින් පැමිණිලිකරුගේ පවුලේ සාමාජිකයන් හා සැකකරුගේ පවුලේ සාමාජිකයන් කාලයක් තිස්සේ මිතුරු පවුල් දෙකක් බවත් එම දෙපාර්ශ්වය නිතර නිතර සාද පවත්වා ඇති බවත් කිසියම් අමනාපයක් හේතුවෙන් අසත්‍ය පැමිණිල්ලක්කර ඇති බවත් කියා සිටියාය.

මෙහිදී දෙපාර්ශ්ව කරුණු දැක්වීම්වලින් අනතුරුව සැකකරු රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කෙරීණි. නැවත කැදවීම ජූලි මස 04 වැනිදාට කල් තැබිණි. පැමිණිලි කරු වෙනුවෙන් නීතිඥ ප්‍රියංකර මාරසිංහ මහතා පෙනී සිටියේය.අයේෂා කුමාරි හා දුලානි කුලරත්න යන නීතිඥ මහත්මීන් සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඕ.පී අබේරන්ත මහතාගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච්.ආර්.එස්. කුමාර මහතා පැමිණිල්ල මෙහෙ‍ෙවීය.


(වාරණ - ආනන්ද ඉ.ජයකොඩි)