liyoni-kothalawala-dies

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අද (19) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වූවාය.
 කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 78 වන වියේ පසු වූවා ය.
මෑත කාලයේ ‘සංගීතේ‘ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසා ඇය ජනප්‍රිය විය.
1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇය රංගනයට පිවිසියාය.

පසුව එම නමින්ම යුතු “සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට එක්වූ ඇය  “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ”,  “එකමත් එක රටෙක”, “මචං”, “බොරදියපොකුණ”, “බන්ධනය” ,“පුනරුප්පත්තිය”සහ “දැවෙන විහඟුන්”  වැනි චිත්‍රපටවලද “සෝමාගේ සිහිනය”, “තාරාදේවී”, “චරිත තුනක්”, ‘කුමාරිහාමි”, “චාරුලතා”, “අරවින්ද සහ ඉන්දු”, “හිරුට මුවාවෙන්”, “සංගීතේ“ යනාදී ටෙලි නාට්‍යවලද ඇය රඟපා තිබේ.

1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇය සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඒ වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා ද නිර්දේශ වූවාය.
වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට යන ත්‍රිවිධ ක්ෂෙත්‍රයන්හි ප්‍රකට වූ ලියෝනි විවාහ වී සිටියේ ඡායාරූප ශිල්පී තිස්ස කොතලාවල සමගිනි. සැමියා 2000 වසරේදී දිවියෙන් සමුගෙන තිබෙන අතර ඇයට පුතුන් පස් දෙනෙකුද මුණුබුරු මිනිපිරියන් රැසක්ද සිටී.
ජූනි 22 වන බදාදා බොරැල්ල සුසාන භූමියේදී ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.