baby-birth-at-home-due-to-fuel-crisis

නිවෙස්ගත දරු ප්‍රසූති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ නොකරන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය. කරයි.ඒ අනුව එවැනි තත්වයක් සිදුනොවීම සඳහා ගර්භණී මවුවරුන් විසින් තමන්ට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනිය සමග කල් ඇතිව සාකච්ඡා කර සුදුසු සැලසුම් සකසාගත යුතු බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

කෙසේ වුවද දුෂ්කර අවස්ථාවක් උදා වුවහොත් කාලය අපතේ නොයවා 1990 අංකය හරහා 'සුවසැරිය’ ගිලන් රථ සේවාව සම්බන්ධ කර ගන්නා ලෙසට ඉල්ලා සිටින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, එවැනි තත්වවලදී සේවා සැපයීමට රජයේ රෝහල් බැඳී සිටින බවත් සඳහන් කර සිටියි.මීට අමතරව මේ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මාධ්‍යයට සිදු කරමින් එම කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ,

"පසුගිය දශක කිහිපය තුළ සෞඛ්‍ය සේවා පද්ධතියේ සිදු වූ ප්‍රගතිය සහ දරු ප්‍රසූති අතරින් 99.99%ක්ම නිපුණ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් සහිත රෝහල්වල සිදුවීම සාක්ෂාත් කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ අඩු මාතෘ මරණ සහ ජන්ම මරණ අනුපාතිකයකට හිමිකම් ලබයි.

මෙම සාර්ථක අඩු මාතෘ මරණ සහ ජන්ම මරණ අනුපාතිකයක පවත්වාගෙන යාම සඳහා ඕනෑම වේලාවක දරු ප්‍රසූතියක් සිදු කිරීමට ආරක්ෂිතම සහ හොඳම ස්ථානය රෝහලකි. මන්ද ඕනෑම ගැබිනි මවකට සෞඛ්‍ය ප්‍රශ්න රහිත පූර්ව ප්‍රසව කාල පරිච්ඡේදයක් තිබුණද සංකුලතා ඇති විය හැකියි. ප්‍රසව ලකුණු පහළ උදරයේ වේදනාව, වතුර බෑගය කැඩීම මතු වුවහොත් හෝ සැලසුම් කළ දරු ප්‍රසූතියේ දිනය ළඟා වුවහොත් වහාම රෝහලකට ඇතුළත් වන්න.යම් හෙයකින් දරු ප්‍රසූතියක් නිවෙස්ගතව සිදුවීම හේතුවෙන් පසු ප්‍රසව අවස්ථාවේදී අධික රුධිර වහනය, බිලිඳාගේ ශ්වසන අපහසුතා, ආසාදන තත්ව සහ ඇතැම්විට මරණ පවා ඇතිවීමේ හැකියාව නිසා මව සහ බිලිඳ දැඩි අවදානමකට ලක්විය හැකියි. මෙවැනි තත්වයන් සෑමට්ටම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ගගත යුතුය. එම නිසා කල් ඇතිව රෝහල්ගත වීමට හොඳ සැලැස්මක් තිබීම ඉතා වැදගත්ය” යනුවෙනි.


( නිදර්ශනී වික්‍රමසිංහ)