hirunika-speaks

මේ දිනවල පුවත් මවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද පළවූ ජාතික පුවත්පතක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙසේ කියා තිබේ.

ඔබ අගමැතිවරයගෙ නිවස ඉදිරිපිට යන විට අගමැතිවරයා හිටියෙ පාර්ලිමේන්තුවෙ. එතකොට ඔබ අගමැතිවරයගෙ නිවස ළඟට ගිහින් ‘රනිල් එළියට එනු’ කියල කෑගහන්නෙ ඒ බව නොදැනද? එය එක්තරා ආකාරයක මාධ්‍ය සංදර්ශනයක්ද ?..

විසි දෙවැනි දා කියන්නේ පාර්ලිමේන්තුව දවසක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට යනවා කියලා අපි දන්නවා. එතුමා පාර්ලිමේන්තුවට පිටත් වෙන වෙලාව බලලා ඒ ඉදිරියට එන්න තමයි අපි එතුමාගේ නිවස ඉදිරිපිටට ගියේ. අපි මේ සම්බන්ධයෙන් කලින් දැනුම්වත් කිරීමක් පවා කරලා තිබුණා. නමුත් වෙනදට අටයි හතලිස් පහට, නවයට පාර්ලිමේන්තුවට යන පුද්ගලයා විසි දෙවැනිදා හතයි හතලිස් පහ වෙද්දි නිවසින් පිට වෙලා තිබුණා.



රනිල් වික්‍රමසිංහට ගෙදර යන්න කියන එකද සජබයේ දැන් අලුත්ම සටන් පාඨය?

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිධුරය භාර අරගෙන දවස් හතලිහකුත් ගත වෙලා අවසන්. මේ දින හතලිස් දෙක ඇතුළත එතුමා අගමැතිධුරය ලබා ගත්තට පස්සේ වෙනස් වුණා නම් වෙනස් වුණේ එක දෙයයි. මැයි නව වැනිදා සිදුවීමෙන් පසුව රාජපක්ෂවරුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරය ගත්තට පස්සේ නැවතත් රාජපක්ෂවරු එළියට බහින්න පටන් ගත්තා. සරලවම කියනව නම් එළියට බහින්න බැරිව හිටිය රාජපක්ෂවරුන්ට ඔක්සිජන් දුන්නෙ රනිල් වික්‍රමසිංහ. එතුමා එද්දී මේ රටේ තිබුණු පෝලිම් සංඛ්‍යාව දැන් දෙතුන් ගුණයකින් වැඩිවෙලා. දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව සමහර අම්මලා දරුවන් ගඟට මුහුදට විසි කරනවා. ගෑස් ඉන්ධන පෝලිම් වල ඉඳලා පුද්ගලයින් මිය යනවා. අගමැති ධුරය බාරගත්ත ගමන් පිටරට ඉන්න මිත්‍රයන්ගෙන් පවා උදව් උපකාර අරගෙන මේ රට වෙනස් කරනවා කියල කිව්වට තවමත් කිසිම රටකින් සුබවාදී පිළිතුරක් ලැබිලා නැහැ. තවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය දෙන එක ගැනවත් පැහැදිලි අදහසක් නැහැ. අගමැතිතුමාට ජාත්‍යන්තර සබඳතා තිබුණට දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා ඉන්න රටකට කිසිම කෙනෙක් උපකාර කරන්නේ නැහැ කියන එක සියලු දෙනාම තේරුම් ගත යුතුයි.

රනිල් වික්‍රමසිංහ පත්වුණා කියලා මේ රටේ කිසි දෙයක් වෙනස් වුණේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරයෙන් අයින් වෙන්න කියන යෝජනාව ගේන්න තමයි පසුගිය විසි දෙවැනි දා අපි එතුමාගේ නිවස ඉදිරිපිටට ගියේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය භාර ගද්දී සද්ද නැතිව ඉඳලා ඇයි එකපාරම මේ වගේ විරෝධයක්...?


ගෝල්ෆේස් එකේ විතරක් නෙමෙයි රට හැම තැනම අරගලයක් තියනවා. රනිල් වික්‍රමසිංහගේ ආගමනයත් එක්ක මිනිස්සු යම්තාක් දුරට පාලනය වුණා. වික්‍රමසිංහ මැතිතුමා මොනවා හරි දෙයක් කරයි කියලා මිනිස්සු බලාපොරොත්තුවක් ඇති කරගත්තා. එතුමා කිව්ව විදිහට මේ හැමදේම හරිගස්සන්න මාසයක්වත් යන්නේ නැහැ. ඒ නිසා අගමැති ධුරය භාරගත්ත ගමන් එතුමාට විරෝධතාවය දක්වන්නේ නැතුව එතුමා මොකද කරන්නේ කියලා අපි බලාගෙන හිටියා. ඇත්තම කතාව ගෝඨාභය රාජපක්ෂ ඉන්නකම් කවුරු ආවත් වැඩක් නෑ. ඒ නිසා තමයි එළියට බැහැලා මේ වෙනස් කළ යුතුයි කියලා අපි හඬ නඟන්නේ.

හැබැයි ඔබේ මුවින්ම රනිල් වික්‍රමසිංහ ගැන ප්‍රශස්ති ගැයිලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඇවිදින පුස්තකාලයක්ය කියලා කීවෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රම නේද?

රනිල් වික්‍රමසිංහ ඇවිදින පුස්තකාලයක් වගේ කියලා මම කිව්ව කතාව එදාට වගේම අදටත් වලංගුයි. මම දේශපාලනඥයින් බොහෝ දෙනෙක් ආශ්‍රය කරලා තියනවා. දැනට ජීවත් වෙලා ඉන්න දේශපාලනඥයන්ගෙන් රනිල් වික්‍රමසිංහ, සුමන්දිරන්, සම්බන්ධන් කියන පුද්ගලයින් තුන් දෙනාම අධ්‍යාපනික පැත්තෙන් උසස් තැනක ඉන්නවා කියලා මම හිතනවා. ඔවුන් සතුව විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. මගේ ඒ මතය කවදාවත් වෙනස් වෙන්නේ නෑ.

නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ උගත්කම බුද්ධිමත්කම පාවිච්චි කළේ තමන්ගේ පුටු ආරක්ෂා කරගන්න. එතුමා උගත් කියලා මේ කාරණාවන් සාධාරණීකරණය කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජපක්ෂවරු අතර තියන සම්බන්ධය ගැන මම එදත් කතා කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උගත්කම, එතුමාගේ බිරිඳගේ තියෙන වැදගත්කම සහ විශිෂ්ටත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් ගත්තොත් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේම දේශපාලන ප්‍රතිපත්ති පවා වෙනස් කරලා දැම්මා. කවදාවත් පරාජයට පත්වන කෙනෙක් ජාතික ලයිස්තුවට ඉදිරිපත් නොකරපු පුද්ගලයා තමන්ගේ පක්ෂය ආරක්ෂා කරගන්න කියලා ජාතික ලැයිස්තුවෙන් පත් වනවා. පක්ෂය රැකගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අවස්ථාව තරුණයෙක්ට දෙන්න තිබුණා. එහෙම වුණානම් කොහොමත් පක්ෂය ප්‍රතිසංවිධානය වෙනවා. නමුත් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ බුද්ධිමත්කම උගත්කම පාවිච්චි කළේ තමන්ගේ පුටුව ආරක්ෂා කරගන්න කියලා මම හැමවෙලේම කියනවා.

අගමැතිගේ නිවස ඉදිරිපිටට ගිහින් ඔබ දක්වන විරෝධයට වඩා සමාජ මාධ්‍ය යේ මේ වෙලාවෙ කතාවෙන්නෙ ඒ වෙලාවෙ කැමරාවල සටහන්වෙලා තිබුණු ඡායාරූප කීපයක ගැන....


අපේ රටේ මිනිස්සු කාන්තාවක් යම්කිසි විදියකට පෙරට එනවනම්, හඬ නඟනවා නම්, පිරිමින්ට වඩා කැපිලා පේනව නම් ඒ කාන්තාව වට්ටන්න උත්සාහ කරනවා. ඒ සඳහා ඔවුන්ට තියෙන පහසුම මාතෘකාව තමයි ලිංගිකත්වය. දේශපාලනය තුළ විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක කාන්තාවක් පෙරට එනවා නම් ඇය වට්ටන්න විවිධ පිරිස් විවිධ උපක්‍රම ගන්නවා. මේක අපේ රටට සාමාන්‍ය කාරණාවක්.

අපේ රටේ හැම මනුස්සයට ම අරගල කරන්න බැහැ. නමුත් අරගල කරන සියලු දෙනාම අරගල කරන්නේ මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. අරගලය තුළ කෙනෙක් අත්අඩංගුවට පත්වෙනවා නම් ඒ රට වෙනුවෙන්. මමත් අගමැති නිවස ඉදිරිපිටට ගියේ මේ රට සහ ජනතාව වෙනුවෙන්.

දේශපාලනික වශයෙන් මට මොන විදිහේ ප්‍රහාරයක් එල්ල කළත් ගැටලුවක් නැහැ. නමුත් ඇඳුමක් එහා මෙහා වුණාම, ලිංගිකත්වය කියන කාරණය උලුප්පලා අරගෙන මිනිස්සු මට මඩ ගහනවා. මේ වගේ මඩ ගහන රටක් ඇතුලේ මේ වගේ මිනිස්සු වෙනුවෙන් නේද අපි අරගල කරන්නේ කියන හැඟීම ඒ අවස්ථාවේ මට ඇති වුණා. කොහොම වුණත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන කාන්තාව ඔය මඩ ප්‍රහාරවලට වට්ටන්න බැහැ.



ඒ මඩ ප්‍රහාරත් දේශපාලන පළිගැනීම් කියලද ඔබ කියන්නේ?


මේ වගේ ක්‍රියා පිටුපසත් අනිවාර්යෙන්ම දේශපාලන බලවේගයක් තියෙනවා කියලා මම දන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවස ඉදිරිපිටට ගියාට පස්සේ එක්සත් ජාතික පාක්ෂිකයන් වගේම, පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් කුපිත වෙලා. අපි දන්න කාලේ ඉඳලා පොදුජන පෙරමුණේ උදවිය දේශපාලනික වශයෙන් වගේම ලිංගිකත්වය කියන කාරණාවත් අල්ලගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කොයි තරම් මඩ ප්‍රහාර එල්ල කළා ද? ඒ විදිහට රනිල් වික්‍රමසිංහට හිනාවුනු මඩ ගහපු පිරිසම එතුමාගේ නිවස ඉදිරිපිටට ගිය මටත් මඩ ප්‍රහාර එල්ල කිරීම කොයිතරම් විහිළු සහගත ද? මේ රටේ කාන්තාවක් දේශපාලනයට එනවා කියන්නේ මේ දේවල් වලට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙනවා. ඒක සාමාන්‍ය කාරණාවක් නොවුණත් සාමාන්‍යයයි කියලා හිතාගෙන වැඩ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා.

ඔබ මේ වෙද්දී සමඟි බලවේගයේ සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායකවරිය. ඇතැම් අවස්ථාවල පක්ෂය නායකවරයටත් ඔබ අවනත නැහැ කියලා තමයි කියවෙන්නේ .......?


මම එක්සත් ජාතික පක්ෂයේත් ඉඳලා තියෙනවා. මම මීට පෙර කිසිම දේශපාලන පක්ෂයක කාන්තා බලවේග වල තනතුරු දරලා නැහැ. සමඟි වනිතා බලවේගයෙ ජාතික සංවිධායකකම මට ලබා දුන්නේ අපේ පක්ෂයේ නායකතුමා. නමුත් කටයුතු කරද්දී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව එතුමා නිර්මාණය කරලා දීලා තියෙනවා. සමහර අවස්ථාවලදී අපි කාන්තාවන් සමඟ එකතු වෙලා ගන්න තීරණ නායකතුමාට කියන්නේ ඒවා ක්‍රියාත්මක කළාටත් පස්සේ. ජනාධිපති තුමාගේ නිවස ඉදිරිපිට ගිය සිදුවීමක් නායකතුමා දැනගත්තේ පස්සේ. සමහර කටයුතු පූර්ව දැනුම් දීමකින් පසුව කරන්න බෑ කියන එක මම අත්දැකීමෙන්ම දන්නවා. උදාහරණයක් විදිහට අගමැතිතුමාගේ නිවස ඉදිරිපිටට අපි ගියේ දැනුම් දීමකින් පසුව. දැනුම් නොදී ජනාධිපතිවරයා ගේ නිවස ඉදිරිපිට ගිය ගමනයි, දැනුම්දීලා අගමැතිවරයාගේ නිවස ඉදිරිපිටට ගිය ගමනයි සංසන්දනය කරලා බැලුවොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවාද නැද්ද කියන එක ජනතාවට ම තීරණය කරන්න පුළුවන්. ඒ හැර පක්ෂයේ නායකතුමාට අවනත නොවීමක් නැහැ.

ඇත්තටම කාන්තාවන් දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් රටේ තියෙනවද?


මේ රටේ කාන්තාවක් දේශපාලනයට එනවා කියලා කියන්නේ ම අභියෝගයක්. අම්මා කෙනෙක් විදිහට බිරිඳක් විදිහට වගකීම් රාශියක් දරන කෙනෙක් තමයි කාන්තාව. දැන් රටේ ඇතිවෙලා තියන තත්ත්වය දිහා බලද්දි කාන්තාවකට දේශපාලනයට එන්න පෙර ගැන දෙවතාවක් හිතන්න වෙලා. ප්‍රථම අගමැතිනිය, ඒ වගේම ජනාධිපතිතුමියක් බිහිවුණු රටක කාන්තාවට දේශපාලනයට එන්න සිදුවෙලා තියෙන්නේ බාධක මැදින්.

දේශපාලනයේ විතරක් නෙමෙයි ඕනෑම තැනක කාන්තාවක් ඉදිරියට එද්දී මුහුණදෙන්න වෙන අභියෝග වැඩියි. දේශපාලනික වශයෙන් ගත්තොත් කාන්තාවන්ට දේශපාලනයට එන්න වැඩි වශයෙන් නාම යෝජනා ලබා දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. අද පාර්ලිමේන්තුවටම කාන්තා නියෝජන තියෙන්නේ කීයද?

ඒ වගේම කාන්තාවන් පිළිබඳ මතවාදය නිවස තුළින් ම වෙනස් විය යුතුයි. අද වුණත් ගෙදරක ගැහැනු දරුවාට වඩා පිරිමි දරුවෙකුට වැඩි වරප්‍රසාද ලැබෙනවා. ඒ නිසා ගැහැනු දරුවෙකුගේ පෞරුෂත්වය තුළින් ම සකස් කළ යුතුයි කියලා මම හිතනවා.

කොහොම වුණත් කිසිම අවස්ථාවක බාහිර බලවේගවලට බයේ මම දේශපාලනයට සමු දෙන්නේ නැහැ. මොළය වැඩ කරන්නේ නැති, කායිකව මානසිකව දුර්වලවෙන කාලයක දේශපාලනයේ නිරත වෙන්න බැහැ කියලා මට අවබෝධ වුණාම මම අනිවාර්යෙන්ම දේශපාලනයට සමු දෙනවා. ඇවිද ගන්න බැරි, කාගේ හරි වාරුවකින් ඇවිදින්න සිද්ධ වෙන කාලෙක දේශපාලනය කරන්න අමාරුයි. මේක තේරුම් ගන්නේ නැති පිරිසක් තවමත් දේශපාලනයේ නිරත වෙලා ඉන්න එක තමයි ගැටලුව.

පාර්ලිමේන්තු නියෝජනයක් නැති නිසා වගකීමක් බාර ගන්න දැනට හැකියාවක් නැති වුණත් සුදුසු කාලය උදා වුණාම වෘත්තීය සමිති වෙනුවෙන්, ළමා හා කාන්තාවන් වෙනුවෙන් මූලිකත්වය දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

•සංවාදය - නිරෝෂා වාසල (අරුණ)