election-commision

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රජය සමග ව්‍යාපාර කරන හෝ රජයට සම්බන්ධ ව්‍යාපාරවල මෙහෙයුම් කමිටුවල සිටින පුද්ගලයෙකු පත් කළහොත් ජනතාවට එයට එරෙහිව අධිකරණයට යාමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ගාල්ලේ ඇල්බට් සිල්වා මහතාට භූමිතෙල් බලපත්‍රයක් තිබීම නිසා මන්ත්‍රී ධුරය අහෝසි වූ බවත්, මීට අමතරව රාජිත සේනාරත්න මහතාටත් මෙවැනි ආකාරයේ කාරණයක් නිසා මන්ත්‍රී ධුරය අහෝසි වූ බවත් එම කොමිෂමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මේ ආකාරයට පත් කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.

මෙවැනි පත් කිරීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට අවස්ථාව ලබාදී තිබෙන බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සඳහා පිටස්තර පුද්ගලයන් පත් වීම වැළැක්වීම සඳහා නීති සකස් කළ යුතු බවත් සභාපතිවරයා පැවසීය. මැතිවරණ සමයේදී ලබාදෙන ජාතික මන්ත්‍රී ධුර ලැයිස්තුවට පිටින් හා අඩුම තරමින් මැතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවූ පුද්ගලයන් පවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පත් කිරීම සිදුකර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එසේම ගෑස් හා ඉන්ධන ගැටලු නිසා ජනතාව පීඩාවට පත් වී තිබෙන නිසා ව්‍යස්ථා සංශෝධනයට සමගාමීව ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය. කටයුතු කළ යුතු බවත්, පවතින ත ත්වය නිසා මේ මොහොතේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළත් එය නිදහස් හා සාධාරණ ලෙස එය පැවැත්විය නොහැකි බවත් නිමල් පුංචිහේවා මහතා පවසා සිටියේය. පසුගිය මැතිවරණය සඳහා රුපියල් බිලියන පහයි. දශම පහක් (5.5ක්) පමණ වියදම් වී තිබෙන බවත්, ඉදිරීයේදී මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් මෙම වියදම දෙගුණයකින් ඉහළ යා හැකි බවත්,  හෙතෙම සඳහන් කළේය.

නව ව්‍යස්ථා සංශෝධනයක් සිදුකරනවා නම්, ඊට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ ප්‍රතිසංස්තරණ සඳහා යෝජනා ලබාගැනීමට පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන යෝනාවද සම්මත විය යුතු බවද සභාපතිවරයා පැවසීය.


මැතිවරණ කොමිෂන් සභාව විසින් යෝජනා 28ක් ඉදිරිපත් කර තිබෙන බවත්, මෙම යෝජනාවලින් 05ක්වත් මූලික වශයෙන් මේ අවස්ථාවේදී නීතියක් බවට පත් විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මේ අනුව මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම, තරුණ හා කාන්තා නියෝජනය ඉහළ දැමීම, පත් වන මන්ත්‍රීවරයා මහජන යහපත වෙනුවෙන් කටයුතු නොකරනවා නම්, මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව මැතිවරණ සමයේදී පනවන ආචාර්ධර්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හා එය කඩ කරන අවස්ථාවේදී මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද සභාපතිවරයා පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)