dont-collect-goods-minister

ගෑස්, කිරිපිටි, සිමෙන්ති ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ වුණත් ඒවා එලෙස නැවත නම් කළ නොහැක් ව්‍යාපාරිකයන් තොග සඟවා වෙළෙඳ පොළේ ව්‍යාජ හිඟයක් ඇති කරන නිසා යැයි වෙළෙඳ ඇමැති නලින් ප‍්‍රනාන්දු මහතා ඊයේ (06) පැවසීය. වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවැසීය.  අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළේ හිග වීම නිසා ජනතාව අතර විවිධ ආන්දෝලනාත්මක පුවත් පසුගිය කාලයේ ප්‍රචාරය වුණා. පසුගිය කාලයේ වර්ධනය වූ ආර්ථික අර්බුදය මේ මාස කීපය තුළදී උච්චතම තැනට පත් වුණා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන අපට නොහැකි වුණා. එය ජනතාවට වගේම කර්මාන්තවලටත් ව්‍යාපාරවලටත් බලපෑවා. මේකට සාධාරණ විසඳුමක් ලබාදෙන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. විදුලි කප්පාදුව අවම කර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදනය වැඩි කරන්නත් සහයෝගය දෙන්න අපි තීන්දු කළා. ඒක සාර්ථකවෙලා තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය නිසා ඒවා එක්රැස් කරන්නට පෙළඹීම නිසා වෙළෙඳ පොළේ භාණ්ඩ හිගය තව තවත් වැඩි වුණා.

එසේ නොකරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කිසිම සහල් හිගයක් හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් හෝ ඇති වන්නේ නැහැ. ඉදිරි මාස හතරකට අපට වී ඉතිරිව තිබෙනවා. ජූලි වෙද්දි යල කන්නය කැපෙනවා. එයින් තව මාස දෙකකට හෝ තුනකට වී තොග ලැබේවි. එතනිනුත් පස්සේ මහ කන්නය වෙනකල්  මාස දෙකකට හෝ තුනකට වී මදිවේවි. ඒ මදි ප්‍රමාණය අපි ආනයනය කරන්න කටයුතු කර තිබෙනවා. කොහොම වුණත් තව මාස හය හතක් යනතුරු සහල් හිගයක් ඇති වෙන්නේ නැහැ. අනෙකුත්   

අත්‍යවශ්‍ය භාණ්ඩවලත් එහෙම  හිගයක් ඇති වෙන්නේ නෑ. මහබැංකුව බැංකු හරහා  සිදු නොකරන ආනයන නවත්වන්න මහබැංකුව තීරණය කර තිබෙනවා. මහබැංකුව හරහා ආනයන කරන්න නම් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස ආනයනකරුවන් ඉල්ලීම් කරනවා.

අපි ඒ ගැනත් දැන් මහබැංකුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර අරන් තිඛෙනවා. දැන් අපි ආනයනකරුවන්ගේ ලැයිස්තුවක් මහබැංකුවට යවලා තිබෙනවා. වරායේ නවතා තිබූ බහලුම් කීපයක් අපි නිදහස් කරගත්තා. තවත් බහලුම් අටසීයක් පමණ හිරවෙලා තිබෙනවා. ඒවාටත් අවශ්‍ය ඩොලර් ලබාදී නිදහස් කරගන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ නිසා කිසිම බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් අය වැඩිපුර ගබඩා කරගත්තාම අනෙක් අයට නැති වෙනවා කියන එක සාමාන්‍ය සිද්ධාන්තයක්. ඒ ගැන කල්පනා කර කටයුතු කරන්න. එහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.


ප්‍රශ්නය - ලාෆ් ගෑස් කාලයක් නැතිව තිබුණා. දැන් රුපියල් හයදාහටත් වඩා මිල වැඩිකරලා වෙළෙඳපොළට නිකුත් කරනවා. ඇයි මේකට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි?


පිළිතුර- ගෑස් කිරිපිටි සිමෙන්ති වගේ භාණ්ඩ කීපයක් අත්‍යවශ්‍ය භාණ්ඩ ලේඛනයෙන් පසුගිය කාලයේ ඉවත් කර තිබෙනවා. ඒ නිසා ඒ සමාගම් මිල ඉහළ නැවීමේ දී දැන් පාරිභෝගික  සේවා අධිකාරියෙන් අවසර ගන්නේ නැහැ. ඔවුන් වැඩි කළ මිල දැනුම් දී තිබෙනවා. මම උපදෙස් දුන්නා ඒ මිල වැඩි කිරීම සාධාරණ ද කියලා ඒ සමාගම කැඳවා සොයා බලන්න කියලා.




ප‍්‍රශ්නය - ඒ කියන්නේ ගැස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙවෙයි?


පිළිතුර - මේක ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒත්  පසුගිය කාලයේ දී ගෑස්වල ප්‍රශ්නයක් ඇති වෙලා ගෑස් හිගවෙලා ඇති වූ තත්වය තුළ පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් අත්‍යවශ්‍ය භාන්ඩයක් නොවන බවට ගැසට් එකකින් ඉවත් කරලා..


ප‍්‍රශ්නය - ඇයි ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නැවත නම් කරන්න බැරි?


පිළිතුර - එහෙම කරපු ගමන් දැන් තිබෙන තත්වය තුළ ව්‍යාපාරිකයෝ භාණ්ඩ සගවලා වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟයක් ඇති කරනවා. එයිනුත් නැවත පීඩාවට පත්වන්නේ ජනතාවයි. ඒ නිසයි අපි ඒ සඳහා දැනට ක්‍රියාමාර්ග නොගන්නේ.


ප‍්‍රශ්නය - දැන් ඉන්දියවෙ ම භාණ්ඩ  ආනයනය සිදුවෙනවාද?


පිළිතුර - ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් අපට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඇමරිකානු  ඩොලර් මිලියන 180ක් වෙන්වෙලා තිබෙනවා. මහබැංකුව මසකට ඩොලර් මිලියන 100ක් ආනයනකරුවන්ට ලබාදෙන්නත් එකග වී තිබෙනවා. ඒ නිසා මේ ක්‍රමය යටත්තේ මාස දෙකක් තුනක් යනතුරු කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා යැයි ද කීය.

 -මුදිතා දයානන්ද-  ලංකාදීප -