deshabandu-court

මැයි මස 09 වැනිදා සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂාග්‍රාහීව කටයුතු කරන බව අධිකරණයට නිරීක්ෂණය වන්නේ යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22) විවෘත අධිකරණයේදී සඳහන් කළේය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විමර්ශන නිලධාරියා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අධිකරණය නිරීක්ෂණය කළ බැවින්, එම නිලධාරියා සම්බන්ධයෙන් පෞද්ගලිකව සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට එහිදී නියෝග කළේය.  

මෙම සිද්ධියට අදාළ 28 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ශේවියර් ප්‍රනාන්දු යන අය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප වීම සහ ඔහු සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට ලබාදුන් නියමය මත එම සැකකරුට ඊයේ (22) නැවතත් ඇප ලබාදීමට අධිකරණය තීරණය කළේය.

ඒ අනුව, රුපියල් කෝටි දෙකක ශරීර ඇප දෙකක් නියම කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුට නියෝග කළේය. ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධිය අධිකරණය හමුවේ ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.  මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවෝ 27 දෙනෙක් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ ඊයේ (22) පෙනී සිටියහ. මෙහි එක් සැකකරුවකු වන ඩෑන් ප්‍රියසාද් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, ඔහු බන්ධනාගාරය විසින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය. කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, රජයේ නීතිඥ උදාර කරුණාතිලක සහ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර, නීතිඥ ශානක අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ උපුල්ජයසූරිය, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ සුමිත් සිරිවර්ධන, නීතිඥ විකුම් බස්නායක, නීතිඥ මේරි ඩික්මන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති  නීතිඥ සාලිය පීරිස් මහතා නඩුව නිරික්ෂණය කිරීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය.  අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැමිණිල්ලට අදාළව කරුණු ඉදිරිපත් කරමින්  මෙසේ ප්‍රකාශ කළාය.



ස්වාමීනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනකු මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර සිටිනවා. මෙහි 28 වැනි සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බව හෙළි වී තිබෙනවා. ඒ වගේත්ම විශේෂ මනෝ වෛද්‍ය කණ්ඩායමේ වාර්තාවේද ඒ බව තහවුරු කර තිබුණා. මෙම සැකකරු අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් මෙහි පිරිස් හැසිරවීම සඳහා කුමන්ත්‍රණය කළ බවට එනම් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 147 වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර ඇති බවට හෙළිවෙලා තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දහසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළ සුම් රැස්වීමක් ගැන විමර්ශනය කළා. නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. එම නිලධාරියාගේ ප්‍රකාශයට අනුව ඉකුත් මැයි මස 07 වැනිදා උදෑසන 9ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සූම් තාක්ෂණය ඔස්සේ උපදෙස් පන්තියක් පවත්වලා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කරලා තියෙනවා ඔහුගේ උපදෙස් පරිදි පමණක් කඳුළු ගෑස් ප්‍රහාර, වතුර ප්‍රහාර එල්ල කරන්න කියලා. අවශ්‍ය නම් ලේකම්තුමාගෙන්  උපදෙස් ගන්නම් කියලා ඔහු කියලා තියෙනවා. ඒ වගේම මේ උපදෙස දැඩිව හිතේ තබා ගන්න කියලා  ඔහු එම නිලධාරීන්ට අවවාද කරලා තියෙනවා. මේ රැස්වීම පටිගත කරන බවත් ඔහු සඳහන් කර තිබුණා.

නීතිපතිවරයා පොලිස්පතිවරයාට යවන ලද ලිපි දෙකක සඳහන් කරලා තිබුණා මේ නිලධාරියාගේ ස්ථාන මාරුව සහ ඔහු සම්බන්ධ විනය පරික්ෂණය ගැන. මෙම සිද්ධියට අදාළව පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශ දෙක මාධ්‍යවල පළ වූ අතර එය තමා දුන් ප්‍රකාශයට පරස්පර බැවින් තමාටත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුටත් නැවත ප්‍රකාශ ලබාදීමට අවස්ථාවක් දෙන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇති ලිඛිත ඉල්ලීමට අදාළ ලිපිය මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා. මෙහි 29 වැනි සැකකරු පෙර දින නඩුව කැඳවන දිනයේදී මෙරටින් පිටව ගොස් තිබෙනවා. 30 වැනි සැකකරු මේ වන විටත් අධිකරණය මග හරිමින් සිටිනවා. සිද්ධියට අදාළව  තවත් සැකකරුවන් පස් දෙනකු අද දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා:

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ නඩුවේ සැකකරුවෙක් ලෙසට නම් කළ යුතුව තිබෙනවා. ඔහු එම ස්ථානයේ සිටියේ සැකකරුවකු සමග සුහද කතාවක නිරතවෙමින්. ඔහු එම ප්‍රහාරයට අනුබල දුන්නා කියලා  උපකල්පනය කරන්න වෙනවා. පොලිසිය ඔවුන්ගේ  යුතුකම ඉටු කරන්නේ නැහැ.



අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා: මම කියන කල් වතුර කඳුළු ගෑස් ගහන්න එපා කියලා මේ නිලධාරියා පහළ නිලධාරීන්ට උපදෙස්  දීලා තියෙනවා. අරගලකරුවෙක් එතැනට ඇවිල්ලා ආයාචනා කරලා ඉල්ලනවා මේක නවත්වන්න කියලා. ඔහු ලේකම්වරයාගෙන් උපදෙස් ගන්න ගිහිල්ලා. ලේකම්වරයා කියන්නේ කවුද? ඔහු අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් බැලීමේ නිලධාරියා විතරයි. ඔහු පොලිසියේ කෙනෙක් නෙවෙයි. මේ දේශබන්දු කියන්නේ අපරාධ සහායකයෙක් නොවෙයි අපරාධකාරයෙක්. මොහු මේ නඩුවේ සැකකාරයෙක් කරන්න කියලා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා: අභියාචනාධිකරණය මෙම නඩුවේ 28 වැනි සැකකරුගේ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කළා. අද මේ සැකකරු සම්බන්ධයෙන් නව තීන්දු නිකුත් කිරීමට  ඔබතුමාට හැකියාවක් තිබෙනවා. මේ පුද්ගලයා එදා පොලිසිය මග හැරලා හැගිලා හිටියා. පසුව ගිහින්  අභියාචනාධිකරණයට පෙත්සමක් දැම්මා. පසුව ඔහු අධිකරණය යටතට පත්වුණා. මොහු නිකම ස්වේඡාවෙන් නොවේ අධිකරණයට භාර වුණේ. මොහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වැලි ගැසුවා. මොහු තමයි ඒ ජනතාව කුලප්පු කළේ. අධිකරණයට එන සෑම කෙනාම සම්බන්ධයෙන් නීතිය එක සේ කි‍්‍රයාත්මක කළ යුතුයි. එසේ නම් මෙම සැකකරුට ඇප දුන්න එක අමතක කරලා ඔබතුමා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා: සී.අයි.ඩී. එක තාමත් දේශබන්දු තෙන්නකෝන් ගැන වචනයක් කියන්නේ නැහැ. ඔහුගේ නියෝග නිසා තමයි මේ සා විනාශයක් වුණේ. ඔබතුමා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන්න. මොහු ජනාධිපති වගේම පොලිස්පතිවරයාගේ නියෝග පවා පිළිගත්තේ නැහැ.

අධිකරණය:- (සී.අයි.ඩී.යෙන් විමසයි)

මේ නිලධාරියා ගැන මේ කියන චෝදනා ගැන මොනවද කියන්න තියෙන්නේ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: නීතිපතිවරයාට උදෘත ගොනු කරලා තිබෙනවා. මේ සිද්ධියේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වගේම තවත් උසස් නිලධාරින් කිහිප දෙනෙක්ම එතැන ඉඳලා තියෙනවා.

අධිකරණය: ඒ නිලධාරීන් වළක්වලා තියෙන්නේ මේ නිලධාරියානේ. තවත් සුද්ද නොකර ඉන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා පෙන්නලා මේ දෙපාර්තමේන්තුව විනාශ කරන්න එපා. වතුර බෝතලයක් අතේ තියාගෙන පාර අයින්නේ හිටපු මනුස්සයෙක්ව අද අත්අඩංගුවට අරගෙන ඇවිල්ලා ඉදිරිපත් කරලා තියෙනවා. මොකද මේ නීතිය? මේ සිද්ධිය විමර්ශනය කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයතිලක කියලා කෙනෙක්. මෙතෙක් ඔහු අධිකරණයට ආවේ නෑ. අද ඇවිල්ලා ඉන්නවා. මේ සිද්ධිය ගැන මෙතෙක් කරුණු වාර්ත කළේ සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා කියන නිලධාරියා. මේ නිලධාරියා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අධිකරණයට හැගී  ගොස් තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනා එක් අයකුට  රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග නිකුත් කළ අතර, මෙහි පස්වනි සැකකරු වන ඩෑන් ප්‍රියසාද් යන සැකකරු ද ඇප මත මුදා හැරිනි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා කැඳවීම ලබන ජුලි මස 06 වැනිදා තෙක් කල් තැබිණි.


(නිමන්ති රණසිංහ -ලංකාදීප)